Monday, July 30, 2018

වයන්න වීණා කන්‍යාවී

මිනිසා 
මරණ තුනක් ඇති මිනිසා  
බලා සිටි  

නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී  
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී  
පයෝදර තුඩු ඉකිබිඳිද්දී  
සංත්‍රාසයෙන්  

අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන් 
 වයන්න වීණා කන්‍යාවී   

නියගලා  මල් පාට දේදුණු  
දෙබෑ කර එන ගිරා පොව්වන්  
පියුම් කැකුළක් තුඩින් පාරා 
 බලෙන් පුබුදන හංසයා 

බලන්න නිරුවත් දෑසින්  
ඔකඳ වී රිද්මයෙන්  
රසාතලය කළ එලි ගන්වා  
වයන්න වීණා කන්‍යාවී 

1989 වසරේ සරසවි හා ස්වර්ණසංඛ සම්මාන දිනූ කන්‍යාවී ගීතය සිරිමැදුර චිත්‍රපටයේ අන්තර්ගත වූවකි. සාම්ප්‍රදායික සිනමා  කලාව අතික්‍රමණය කළ මෙය චිත්‍රපටයේ අදාළ අනුභූතිය පුළුල් ලෙස චිත්‍රණය කරන්නක් විය. මෙම ගීතයේ පද රචකයා වන්නේ ලූෂන් බුලත්සිංහලයන්ය. වේදිකාවෙන් සිය ගීත රචනා කලාව අරඹන මෙතුමා ටෙලිනාට්‍ය, චිත්‍රපටිය හරහා ඔපෙරාව වෙත ගමන් කිරීමට තරම් පැතිරී ගිය රචනා කෞෂල්‍යක් පළ කළේය. මෙම හැම මාධ්‍යකදීම බුලත්සිංහලයන් උත්සහ කොට ඇත්තේ සුපුරුදු වට්ටෝරු ගීත රටාවෙන් වෙනස්ව අලුත්ම භාෂා වියමනක් හරහා විදග්ධව සිය අනුභූතිය නිර්මාණය කිරීමටය. සිරිමැදුර චිත්‍රපටයේ තේමා ගීතය වූ කන්‍යාවී ගීතය සිංහල චිත්‍රපට ගීතයේ කඩඉමක් ලෙස අර්ථනිරූපණය කරන්නේ ඒ නිසාවෙනි  පූර්වෝක්ත ගීතය බිහි වූ ආකාරය දෙස අවධානය යොමු කිරීමේදී චීත්‍රපට තිර නාටකයේ කේන්ද්‍රීය පිරිමි චරිතය මාරාන්තික අනතුරකින් කශේරුක ආබාධිතයෙක් බවට පත් වී කතා කිරීමේ හැකියාව නැති වූ මිනිසෙකි. නමුදු මොහු සංගීතඥයෙකි. මොහුගේ භාෂාව වන්නේ සංගීතයයි. සහෝදරයාගේ බිරිඳ සමඟ ආත්මිය සංවාදයකට එළඹෙන්නේ ඇයට පියානෝව වාදනය කිරීමට ඇති හැකියාව ඔස්සේය. මෙතෙක් කල් ඔහුගේ ශාරීරික අවශ්‍යතාවයන් ඉටු කර දුන්නේ සිරිමැදුරේ සිටි නූගත් ග්‍රාම්‍ය මෙහෙකාරීයයි. නොසියුම් ඇගේ ජීවිත දහරාව ඔස්සේ ඇයට නොතේරෙන සංගිතය ඇගේ අයිතිවාසිකම් වලට අභියෝග කරන්නටත් සූදානම් වෙයි. මේ තුන්කොන් ලිංගික අරගලය ඔසවා තබන තැනකයි මෙම චීත්‍රපට ගීතය අන්තර්ගත වන්නේ.                 

මිනිසා                 
මරණ තුනක් ඇති මිනිසා                 
බලා සිටී          

සාහිත්‍ය ඔස්සේ සංගීතය පිළිබඳ චින්තනය අවධි කිරීමේදී අපට මැවී පෙනෙන්නේ සරස්වතියයි. ඕනෑම කලා කෘතියක් හෝ චීත්‍රපට නිර්මාණයක් සරස්වතී වර්ණනාවෙන් හෝ ගීතයකින් ආරම්භ වීම යථෝක්ත මූලධර්මයක් වේ. ඒත් සමඟම මෙම චිත්‍රපට ගීතයේ එන තුන්කොන් ලිංගික ආලය රචකයා වෙත පැරණි ජන කවියක් සිහියට නංවයි .   
වනේ ගිජිඳාය දුටුවොත් වනසාය                   
ලිඳේ පනිදාය වැටුනොත් ඌ කාය                  
අතකින් කරවැලකි අතකින් දඬුබෑය                  
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය  

උක්ත කවිය ඇසුරු කරගෙන රචකයා ගීතයේ පදවැල් නිර්මාණයට පිවිසෙයි . මරණ තුනක් ඇති මිනිසෙක් යනුවෙන් ඔහු අර්ථ දක්වන්නේ චිත්‍රපයේ කේන්ද්‍රීය පිරිමි චරිතය වටා එතී ඇති තත්වානුරූපී අවස්ථාවන් තුනකි. තමන්ගේම ජීවිතය පිළිබඳ තිබෙන අනාරක්ෂිත භාවය, මෙහෙකාරිය හා සහෝදරයාගේ බිරිඳයි. කථානායකයාගේ මරණ තුන පිළීබඳව රචකයා දක්වන්නේ එලෙසිනි. කාම ලෝකයේ මිනිසාගේ හැසිරීම් රටාව මේ ඔස්සේ සංකේතවත් කරයි.රචකයා ව්‍යංගයෙන් පවසන්නේ අධ්‍යතන යුගයේ පවා මිනිසාට මරණ තුනක් පවතින බවයි. සිය ජීවිත තුළට කිඳා බසින කෙදිනකවත් මකා දැමිය නොහැකි ආර්ථික, දේශපාලන, සමාජීය, සංස්කෘතික සංඝටනයන් මත හටගන්නා ගැටලුකාරී අවස්ථාවන් හෙවත් දුක් කම්කටොලු ලෙස මේ මරණ නූතනයේ විවිධාකාර ස්වරූප ගනී.                   

නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී                   
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී                   
පයෝදර තුඩු ඉකිබිඳිද්දී 
සංත්‍රාසයෙන්                  
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්                   
වයන්න වීණා කන්‍යාවී  මේ 

ගීතයේ අන්තර්ගත වන්නා  වු සංකල්ප රූප සාමාන්‍ය චිත්‍රපට ගීතයකට වඩා බෙහෙවින් ගැඹුරු බව පෙනේ. රසිකයාට එක් වරම ග්‍රහණය කරගත නොහැකි තලයක ගීතය පවති. එහෙත් චිත්‍රපටයේ සමස්ථාර්ථය හා බද්ධව සලකා බැලීමේදී  එය අපූරු ගීත හා සංගීතමය ප්‍රකාශනයක් ලෙස අවබෝධ කරගත හැක. රචකයා රූපකාර්ථ ඹස්සේ මහඟු භාව ප්‍රකාශනයක් හෙවත් රූප රචනයක් ගෙනහැර දක්වයි. අනියම් කාම ලෝකයේ මෙවුන්දමින් නැතිනම් රති සම්භෝගයෙන් මුසපත් වු දෙහදක් සංවාදයෙන් තොරයි. ඔවුන් අසංවාදීව සුසුම් වල වේගයෙන් පමණි සංවාද කරන්නේ. සැකය නැමැති ලිහිල් සළුව මුහුණ පාන්නා වු ඛේදවාචකය පිළිබඳ මොවුන්ට ඉමක් කොනක් නොපෙනේ. පයෝදර තුඩු ඉකිබිඳ්ද්දී යනු කාමලෝකයේ අතිශය කාමාශක්ත බව නිරූපණය කරන්නා වු රූපකාර්ථයකි. වෙන් වෙන් වු පරිසරයන් තුළ භාවිතා වන වචන කාව්‍යාත්මක ලෙස එක් තැනකට එක් කිරීම මත රූපකාර්ථ ගොඩනැගේ. මෙම ගීතය තුළ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ ප්‍රකරණ වක්‍රතාවයයි. එනම් පැරණි මූලාශ්‍රයේ ඡායා මාත්‍රයක් තමන් තුළ රඳවා ගෙන වර්තමානයට හා චිත්‍රපටයේ කථා තේමාවට ගැළපෙන ලෙස අලුත් ආරයකට ප්‍රතිනිර්මාණය කිරීමයි. කාලිදාසයන් අභිඥාන සාකුන්තලය රචනා කිරීමේදී පැරණි මූලාශ්‍ර වු පර්ණපුරාණය, සාකුන්තලෝපාක්‍යානය හෝ මහා භාරතය ඒ ආකාරයෙන්ම භාවිතයට යොදා ගත්තේ නැත. ලූෂන් බුලත්සිංහලයන් නූතන ගීතයේ රූප රචකයා ලෙස හැඳින්වීම අරුමයක් නොවන බව ගම්‍ය වන්නේ ඒ නිසාවෙනි. වීණාවක් වැයීම යනු අතිශය ශාන්තව කළ යුත්තකි. නමුත් සාහිත්‍යයේදී වියරුවෙන් මුසපත්ව වීණාවක් වැයීමෙන් ලිංගිකත්වය කාම රසය උද්දීපනය වේ. ලිංගිකත්ය යනු වෙනමම ශික්ෂණයක් ලෙස අර්ථකතනය කළ හැක. වාත්සායන පඬිවරයා කාම ශ්‍රාස්ත්‍රයට අදාළව ලියූ අනංගරාග ග්‍රන්ථයේ සමස්ථාර්තය තුළද ගැබ් වී ඇත්තේ ලිංගිකත්වය හා රතිසම්භෝගය තුළද සංයමයක් පවතින බවය. නමුදු මෙම ගීතය තුළින් ව්‍යංග්‍යාර්ථවත් වන්නේ අධ්‍යතන සමාජයේ අනියම් සබඳතා මත ගොඩනැගෙන්නා වු ජීවිත කතාව නිරන්තර සංත්‍රාසයෙන් යුක්ත වන බවයි. සංයමයක් රටාවක් නොමැතිව රස කාමයෙන් මුලා වූ මිනිසා තම කායිකෝත්තේජනයන් සොයා යන්නේ සියළුම සදාචාරාත්මක ශික්ෂණයන් බිඳ දමාගෙනය. මෙම ගීතයේ වාච්‍යාර්ථය පමණක් නොව චිත්‍රපටයේ සමස්ත අනුභූතිය හා ඓන්ද්‍රීය ලෙස බද්ධව එහි ඇතුලු ගැබ පලාගෙන මතු වු සියුම් ආත්මීය ආවිෂ්කරණයක් මේ ගීතයේ ගැබ් වේ. රචකයා බොහෝ සංකීර්ණ රූපකාර්ථ, සංකේත හා ව්‍යංග්‍යාර්ථවත් පද මාලා ඔස්සේ සහෘද හදවත් තූළ චිත්තරූප මැවීමට ගෙන ඇති වෑයම ඉතාමත් ආනන්දනීයයි.  

නියඟලා මල් පාට දේදුනු                                        
දෙබෑ කර එන ගිරා පොව්වන්                                       
පියුම් කැකුළක් තුඩින් පාරා                                        
බලෙන් පුබුදන හංසයා හංසයා                                        
බලන්න නිරුවත් දෑසින්                                       
ඔකඳ වී රිද්මයෙන්                                        
රසාතලය කළ එළි ගන්වා                                       
වයන්න වීණා කන්‍යාවී  

කාන්තාවකගේ ශරීර අවයව කොටස් වශයෙන් සැලකූ විට අපට සුන්දරත්වයක් පෙනෙන්නේ නැත. සමස්තයක් ලෙස කාන්තා රූපය, ස්ත්‍රී ලාලිත්‍ය ආකර්ෂණීය බව අමුතුවෙන් කිව යුතු නැත. ගීතයද එසේමය වෙන් වෙන් වශයෙන් විශ්ලේෂණය කිරීමකට වඩා එහි සමස්ථාර්තය තුළ හැඟවෙන්නේ පුළුල් සන්නිවේදනයකි. නියගලා මල්, ගිරා පොව්වන්, පියුම් කැකුළක්, හංසයා යන පද මාලා ලිංගික ආකර්ෂණයක් ඇති කරන්නා වු රූපක වේ.  රසාතලය යනු කවි සමයේ නා ලොව හෝ පාතාලය යැයි කියැවේ. එනම් රස පොළොව හෙවත් පොළොවේ යටි තලයයි. රස කාම ලෝකයේ ජීවී පැවැත්ම රඳා පවතින්නේ රස පොළොව ආරක්ෂා වු තරමටයි. එය නිසරු වු කල ජීවී පැවැත්මක් නැත්තේය. “මී තෙල් මැ වැගිර වටැ පැතිර රසා තලයට බට පරිදිදෙනි” යැයි සද්ධර්මාලංකාරයේ තෙභාතික වස්තුවේ සඳහන් වේ.  රාහුල හිමියන්ගේ පරෙවි සන්දේශයේ පද්‍ය අවස්ථාවක් වන “රත්සර කැකුළකට තුඩු දී හසෙක් මොල” යන මූලාශ්‍රයද මේ ගීතයේ පද නිර්මාණය සඳහා ඇසුරු කරගෙන ඇති ආකාරයක් දක්නට ලැබේ. එනම් උක්ත කරුණු අනුව ගීතයේ භාව සෞන්දර්යට වඩාත් සමීප වීමට නම් ධ්වනිථාර්ත, වෘතාන්තමය හා ජීවන පරිසරය පිළිබඳ කරුණු ද අප දැන සිටිය යුතුය.  මෙම ගීතයේද ඇත්තේ කිසියම් සංකීර්ණ බවක.ි රචකයා තෝරාගන්නා උපමා රූපක ගැඹුරුය. ගීතයේ ආකෘතික විලාසය අමුතුය. එනම් ලූෂන් බුලත්සිංහලයන් සතු රැඩිකල් මනස කදිමට හෙළිදරව් වේ. සමභාව්‍ය සාහිත්‍යය සේවනය කිරීමෙන් ලත් නිර්මාණාත්මක ශික්ෂණය සහ අභ්‍යාසද එහිදී රචකයාට බලපා ඇති බව පෙනේ. මෙම ගීතයේ පද රචනය ලූෂන් බුලත්සිංහලයන්ගෙනි. ගායනය කරනු ලබන්නේ අමරසිරි පීරීස් මහතා විසිනි. සංගීතවත් කළේ කේමසිරි ප්‍රේමදාස සංගීතවේදියාය.ඒ අනුව සංගීතය, ගායනය, තනු නිර්මාණය මත උපරිම සාර්ථකත්වයට පත් වූ නිර්මාණයකි. යම් කිසි නිර්මාණයක් සහෘදයන් අතර දිගු කලක් රඳා පවතින්නේ එහි නිර්මාණශීලී ගුණාංග වල සුලභ බව නිසාවෙනි. කන්‍යාවී ගීතය අද්‍යතන යුගයේ පවා රසික හදවත් තුළ රැඳී ඇත්තේ එහි සාර්ථකත්වය මත බව මැනවින් ගම්‍ය වේ. 

Wednesday, July 11, 2018

මාධ්‍ය මර්ධනය



මාධය මර්ධනය යනු බොහෝ රටවලින් ඇසෙන හුරුපුරුදු වචනයකි. තම වෘත්තිය ආරම්භ කළ දින සිට එය හොඳින් මතකේ තබාගත යුතු වචනයක් වන්නේ බොහෝ විට මාධ්‍ය ජීවිතය තුළ එවන්සිද්ධින් වලට මුහුණ  දීමට සිදු වන නිසාය. ආණඩු විරෝධී, මත්කුඩු  හා ජාවාරම් විරෝධී මාධ්‍යවේදීන්බොහෝ විට එය අත් විඳින්නට සිදුවෙයි. බිය වැද්දවීම්, මරණ තර්ජන, පැහැර ගැනීම් වැනි සිදධීන්  නිතරම  අපට ලොව පුරා සුලබව අසන්නට ලැබෙයි. පහුගිය කාල වකවානුවේ එවන් සිද්ධීන් ශ්‍රී  ලංකාව තුළ වාර්තා විය.කෙටියෙන්ම කිවහොත්පසුගිය  කාලයේ මාධ්‍ය මර්ධනය සුදුවෑන් සංස්කෘතිය ලෙසද හැඳින්විය  හැකිය. ඒ බොහෝ දෙනෙකුටහිරිහැර කරන්නට හෝ පැහැර ගැනීමට ආවේ සුදුවෑන් වලින් බැවිණි.මාධයවේදීන් ආරක්ෂා කිරීම සඳහා වූ කමිවුව විසින් සිදු කරන ලද සමීක්ෂණයක තොරතුරු අනුව 1992 සිට ලොව පුරා මාධ්‍යවේදීන් දහසකට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉන් 71%ක් ම ඝාතනය කර තිබීම විශේෂත්වයකි.2015 වසරේ ලෝකයේ මාධයවේදීන් 199 දෙනෙකු සිරගත කොට තිබෙන අතර මෙම වසරේ මේ වනතෙක් මාධ්‍යවේදීන්  10 දෙනෙකුට තම ජීවිත අහිමි වී ඇතැයි එම කමිටුව සඳහන් කරයි . මාධ්‍යවේදීන් සදහා  අනතුරුදායකම රටවල් පිළිබඳ කළ සමීක්ෂණයකදී එම කමිටුව මෙම තොරතුරු අනාවරණයකර තිබේ.එමෙන්ම 2010 වසරේ සිට මාධයවේදීන් රටින් පිටුවහල් කිරීම පිළිබඳ සිද්ධීන්  452 ක් වාර්තා විය.  ඉන්බොහෝමයක් වාර්තා වන්නේ මැදපෙරදිග හා අප්‍රිකානු රටවල් දෙසිනි. මාධ්‍යවේදීන්ට අනතුරු දායක රටවල් අතර 1992 සිට 2011 දක්වා කාලයේ සිදුවීදුම් වලට අනුව ශ්‍රී ලංකාව 10 වන ස්ථානයේ සිටියි. ශ්‍රී ලංකාවේ 1992 සිට 2011 දක්වා කාලය තුළ මාධ්‍යවේදීන්  19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එම කමිටුව සඳහන් කරයි.  තවද තහවුරු නොකළ මරණ සංඛ්‍යාව හයකි.  ඉන් 63% ක් දේශපාලන පලිගැනීම් ලෙස සිදු කළ ඝාතන බව එම කමිටුවේ අදහසයි. මෙම ඝාතන හා ජීවිතක්ෂයට පත් වීම් අතුරින්  වැඩි ප්‍රතිශතයක මරණ වාර්තා වන්නේ 2004-2009 දක්වා කාලයේදීය. ජීවිතක්ෂයට පත් වූඅයගෙන් බොහෝමයක් පුවත්පත් මාධ්‍යවේදීන් වන අතර ජීවිතක්ෂයට පත් වූවන් අතරින් 84% ක් පිරිමි  මාධ්‍යවේදීහු වෙති1999 සිට 2009 දක්වා තහවුරු කරන ලද ජීවිතක්ෂයට පත් වූ මාධ්‍යවේදීනගේ නාමලේඛනය ඔවුන් එලි දක්වා තිබේ- එල්-ටී-ටී යට සම්බන්ධ බව කියන මාධ්‍යවේදිහු කිහිපදෙනෙක්ද එම ලැයිස්තුවේ සිටිති.



Monday, July 9, 2018

ශ්‍රී ලංකාවේ පුවත්පතේ කාටූන් කලාව





ශ්‍රී ලංකාවේ පුවත් පත් කාටූන් කලාවේ ප්‍රභවය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ලෝකයේ කාටූන් චිත්‍ර කලාවේ ආරම්භය පිළිබඳ අවධානය යොමු කළ යුතුය. ඈත අතීතයේ මිනිසා ඔහුගේ හැගීම් සිතුවිලි සහ අදහස් හඟවන්නට ඇත්තේ අත් පා හසුරවමින් ගොළු භාෂාවකින් යැයි අපට සිතිය හැක. පසු කාලීනව මිනිසා සරල චිත්‍ර නිර්මාණය කර ඇති බව ස්පාඤ්ඤයේ අල්ටමීරාහි පිහිටි ගල් ලෙනක තිබී සොයා ගත් චිත්‍රවලින් පැහැදිලි  වේ.ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසා මුලින්ම  යමක් ඇඳීමට හෝ කුරුටු ගෑමට හුරු වූයේ ගල් ගුහා බිත්ති මත බවට සාදක හමු වී ඇත.පුරාතන යුගයේ මිනිසා ශිෂ්ටාචාර ගත වන්නට පෙර අවධියේ සිටම චිත්‍රය යනු මිනිසාට සමීප මාධ්‍යක් විය. ලිවීම ආරම්භ වන්නට පෙර අවධියේ සිටම ලෙන් සිතුවම් වලට මිනිසා හුරු පුරුදු විය. ලේඛනය ආරම්භ වූයේ චිත්‍ර, රේඛා , සංකේත, සටහන් ආදී ප්‍රකාශන විධි ක්‍රමයන්හි සංවර්ධිත අවස්ථාවක් ලෙසටය.ඉන් අනතුරුව ක්‍රි-ව- 5 වන සියවසයේ කිසියම් අර්ථයක් හෝ පණිවිඩයක් ලබා දෙන ආකාරයේ චිත්‍ර සම්ප්‍රදායක් තිබී ඇත. යුරෝපයේ අතැම් පල්ලි වල “ගාර් ගොයිල්ස් යනුවෙන් හැඳින්වෙන  විකට ස්වරූපයක් ගන්නා මූර්ති පෙළක් 13 වන සියවසයේ තිබූ බව සඳහන් වේ. 18 වන සියවස වන විට චිත්‍ර කලාවට හිමි වූයේ සුවිශේෂි ස්ථානයකි . කාර්මික විප්ලවය සමඟ නගර නිර්මාණය කිරීමේදී චිත්‍ර ශිල්පය බෙහෙවින් භාවිත කළේය.එදා ගල් ලෙනෙන් ආරම්භ වූ චිත්‍ර භාෂාව අවුරුදු දහස් ගණනක් ගෙවා අවුත් අද ලෝකයේ ඉතා ජනප්‍රිය විශ්ව භාෂාවක් බව පත්ව ඇත.අද වන විට කාටූන් චිත්‍ර   අයුක්තියට, අසාධාරණයට, කුරිරු පාලනයට,ඒකාධිපති  බලයට එරෙහිව නැගී සිටින මාධ්‍යක් වී ඇත. ක්‍රිස්තු වර්ෂ 1446 දී ජර්මන් ජාතික චිත්‍ර ශිල්පියෙකු වන ඊ-ඒ මාස්ටර් විසින් හාස්‍ය  උපදවන විසුළු අයුරින්  හෝඩියේ අක්ෂර නිර්මාණය කර ඇත. අනුකරණ චිත්‍ර සම්ප්‍රදායේ ඇති වහල් බැම්ම කඩා තමාට අවශ්‍ය හැටියට නිදහස්ව අදහස් ප්‍රකාශ කිරීමට කාටූන් චිත්‍ර  ශිල්පියාට අවස්ථාව ලබා දී ඇත.ක්‍රි ව 5 වන සියවසයේදී පමණ ජපානයේ රෝල් කළ හැකි චිත්‍ර සම්ප්‍රදායක් පැවතුණි. එය යම් කිසි පණිවිඩයක් අර්ථයක් ලබාදෙන ආකාරයෙන් නිර්මාණය වූවකි. වත්මන් පුවත්පත් කාටූන් කලාව දක්වා වර්ධනය වූයේ මෙලෙස ඇරඹි කාටූන්  කලාවයි. දේශපාලන  කාටූන් කලාවේ ආරම්භය සිදු වූයේ ඇමරිකාවෙනි. ඒ 1754 මැයි 09 දිනය. ඒ මහා බ්‍රිතාන්‍යයේ බලපෑමට විරුද්ධව බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්නම් කාටූන් ශිල්පියා විසින් කැබලි අටකට වෙන් වුණු සර්පයෙක් අඳිමින් එවකට රටේ පැවති අස්ථාවර භාවය නිරූපණය කරන්නට කාටූන්  කලාව යොදා ගැනීමත් සමඟය.මෙම කාටූනය එක්වෙමු නැත්නම් මියෙමු යනුවෙන් නම් කළේය.නිව්යෝර්ක්, නිව්ජර්සි, පෙන්සිල්වේනියා, ආදී පළාත් අටක් මෙයින්  නිරූපණය විය. පසුකාලීනව  මෙම කාටූන් කලාව යුරෝපය පුරාම පැතිර ගියේය.

ලංකාවේ කාටුන්  කලාව ආරම්භ වන්නේ 1931 වර්ෂයේදී ය. ඒ ස්වදේශ මිත්‍රයා පුවත් පතට ජී.එස්.ප්‍රනාන්දු විසින් ඩොනමෝර් කොමිසමේ යෝජනා විවේචනය කරමින් අඳින ලද කාටූන්ය. නමුදු විධිමත් ආකාරයෙන් පුවත්පත් කාටූන් කලාව ආරම්භ කරන ලද්දේ 1940 වර්ෂයේදීය. ඒ ඔබ්‍රි කොලට් හා ජ.එස්. ප්‍රනාන්දු  යන දෙදෙනා ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත් පතට සම්බන්ධ වීමත් සමඟය.කාටූනයකින් යම් කිසි චිත්‍රයක් හෝ අදහසක් විවේචනය කළ හැක. දේශපාලන කාටූන් ශ්‍රී ලංකාවට ගෙන එන ලද්දේ ඉංග්‍රීසින් විසිනි. එනම් මෙම කාලය ඉංග්‍රීසින්ගේ පාලන  සමය වූ නිසා දේශපාලන කාටූන් කලාවේ වර්ධනයක් දැකිය නොහැක. එහෙත් නිදහසින් පසු කාලය තුළ ලංකවේ දේශපාලන කාටූන් කලාව වර්ධනය වන්නට වි. එයට මූලිකම හේතුව ලෙස නිදහසින් පසු ලැබුණ ප්‍රකාශනයේ නිදහස හදුනා ගත හැකිය. 1978 දෙවන ආණඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දීමත් සමඟ එතෙක් ලංකාවේ පැවති ප්‍රකාශන නිදහස වැඩි වන්නට වි. ඒ අනුව බොහෝ පුද්ගලික  ප්‍රකාශන සමාගම් බිහි වන්නට විය. මේ හරහා බිහිවූ පුවත්පත් වල දේශපාලන කාටූනයක් සඳහා අනිවාර්ය ඉඩක් වෙන් කෙරුණි .ඒ හරහා ලංකාවේ දේශපාලන කාටූන් කලාව වර්ධනය විය.ඩබ්.ආර්.විජේසෝම, මොටගෙදර වනිගරත්න, යුනූස් කැමිලස් පෙරේරා, විනී හෙට්ටිගොඩ, ශන්ත කේ.හේරත්, කේ.ඩබ්ජ.නරංජන, රුවන් තරස්වින්, ප්‍රීතී කන්නන්ගර අවන්ත ආටිගල ආදීන්  මෙහිදී වැදගත් වේ.මෙම ශිල්පීන්ගේ  කාටූන් බොහෝ විට පවතින දේශපාලන ක්‍රමය, සමාජ ක්‍රමය හාස්‍යජනක ලෙසවිවේචනය කිරීමකට සීමා විය. ඇතැම් විට ශිල්පීන්ට තමන්ගේ  පුද්ගලික දේශපාලන මතයට වඩා ආයතනයේ මතය නියෝජනය කරන්නට සිදු වන අවස්ථාද දැකිය හැකිය.එමෙන්ම ඇතැම් අවස්ථාවල කාටූන් මඟින්  කියවෙන දේශපාලනය නිසාම කාටූන්  ශිල්පීය ජීවිත තර්ජනයන්ට මුහුණ  දුන් අවස්ථා ද තිබේ. කේසේ වුවද  වර්තමානයේ සෑම පුවත්පතකම පාහේ කාටූනයට ඉඩක් වෙන් කර තිබේ.


මාධ්‍ය හා ප්‍රකාශන නිදහස




තාක්ෂණය අතින් විශාල මාධ්‍ය ප්‍රගතියක් වර්තමානයේ අපටදකින්නට ලැබේ. එහෙත් එය මාධ්‍ය සංස්කෘතිය සම්බන්ධයෙන අර්තකතනය කළ නොහැක.ගෝලීය ධනේශ්වර ක්‍රමය යටතේ පවතින ආර්ථික අවපාතයේ සන්දර්භය තුළ,විශේෂයෙන්ම ඌන සංවර්ධිත රටවල් සම්බන්ධයෙන් බලන කල මාධ්‍ය සංස්කෘතිය සම්බන්ධයෙන්  හැදින්වෙන ලක්ෂණය තුළ පසුබෑමක් දක්නට ලැබේ.එවැනි ප්‍රපංචයක් සම්බන්ධයෙන්  ශ්‍රී ලංකාව අතිශය සංකීර්ණ නිදර්ශනයක් සපයයි . මෙම කරුණ තව තවත් අවුල් සහගත කරනු ලබන්නේ  දේශපාලනමය වශයෙන් එසේ නැතහොත් අවම වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලමය තත්වය අතින් ශ්‍රි ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී  රටක් වශනේ හඳුන්වනු ලැබීමය.මාධ්‍ය සංස්කෘතියේ විශිෂ්ඨතම සලකුණ වන මාධ්‍ය නිදහස පිළිබඳ සලකා බලන විට අවුල් සහගත තත්වයක් දකින්නට ලැබේ. හුදු වදන් මඟින් පමණක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව යටතේ මාධ්‍ය නිදහස සුරැකෙන බව පෙනී යයි. මාධ්‍ය නිදහසට පදනම සපයන අයිතියක් වන රජය හා දේශපාලන පක්ෂ එවායේ ප්‍රතිපත්ති හා වැඩ පිළිවෙළ  වල් වෙත සහයෝගය දැක්වීමට හා විවේචනය කිරීමට ඇති අයිතිය ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය  විසින්  පවා පිළිගෙන තිබේ.එහෙත් ඇත්ත වශයෙන් ශ්‍රී ලාංකීය ජනතාවට මාධ්‍ය නිදහස මිථ්‍යාවක් හා ප්‍රලාපයක් වී තිබේ. මෙම අවදානම් සහගත බව පිළිබඳ  පසු බසින යුක්තිය ශ්‍රී ලංකාවේ නීති වෘත්තිය හා නීතියේ ආධිපත්‍යය නම් වූ වාර්තාවක් 2009 මැයි මාසයේදී ජාත්‍යන්තර නීති සංගමයේ මානව හිමිකම් (ජනසමාභි) ආයතනය විසින් ඉදිරිපත්  කර තිබේ.ප්‍රමාණය ඉක්මවා යන රජයේ පාලනය හා ඇඟිලි ගැසීම නිසා ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුළ සිංහල, දෙමළ,ඉංග්‍රීසි මාධ්‍යවේදීන්ට  සංවේදී ප්‍රශ්න සම්බන්ධයෙන් විරුද්ධ මත ප්‍රකාශ කිරීමට ඇති ඉඩකඩ අඩු යැයි එම ජනසමාභි ආයතනයේ වාර්තාවෙහි සඳහන් වී තිබේ- එල්-ටී-ටී යුධමය වාතාවරණය පැවති සමයේ එල-්ටී-ටී- ය සමඟ වූ සන්නද්ධ ගැටුමට අදාළ ප්‍රශ්න සම්බන්ද ආණ්ඩුව  අදහසට අනුකූලතාව සහතික කර ගනු පිණිස බලපෑම් කිරීම සඳහා සියලුම මාධ්‍ය ආයතන වල කතුවරයන් හා අයිතිකරුවන් සමඟ මාසික රැස්වීම් පවත්වන බව වාර්තා වන්නේ යැයි ද එහි සඳහන්ව ඇත. වර්තමානයේ එල-්ටී-ටී- ය යුධමය අතින්  යටපත් කිරීමේ කාර්යය ඉටු කර ඇති බැවින් එම සාකච්ඡා රජය විසින් සම්පාදනය කරනු ලබන්නේ “ජාතිය යළි ගොංනැගීමට” අදාළ වූවක් ලෙසිනි.මෙම සන්දර්භය තුළදී ස්වයං වාරණය ප්‍රධාන කාර්යයක් ඉටු කරනු ලැබේ- ඒ අනුව බලෙන් පවරනු ලැබූ ස්වයං වාරණයක මුවාවෙන්  තමන් එකඟ නොවන්නා වූ දෑ වාරණය කිරීමට මාධ්‍ය ආයතන වලට මෙයින් අවකාශය  ලැබේ.මාධ්‍යවේදීන් පිළිබඳ  නොවිසදුණු මනීමැරුම්, පැහැර ගෙන යෑම් හා සිර අඩස්සියේ රඳවා ගැනීම් ගැනද ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට එරෙහිව වෙනත් කරුණු ද මෙකී ජනසමාභී වාර්තාවේ දක්වා ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුවක්‍රම ව්‍යවස්ථාව තුළ පවා නිදහස් ප්‍රකාශනයට එරෙහි සම්බාධක ඇතැයි සඳහන් කරන එම වාර්තාව ප්‍රකාශන නිදහස අනිසි ලෙස පාලනය කරන ප්‍රතිපාදනයක් හැටියට ව්‍යවස්ථාව අංක 15 (2) පෙන්වා දෙයි.

මෙහි සඳහන් කර ඇත්තේ වාර්ගීය හා ආගමික සාමයේ ඕනෑ එපාකම් හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද,අධිකරණයට අපහාස කිරීම්, අපකීර්තියට ලක් කිරීම් හෝ පුද්ගලයන් වරදට පෙළඹවීම් සම්බන්ධයෙන් එහි පනවා ඇති සීමාන්  පිළිබඳවය. ඉහත සඳහන් ඕනෑ එපාකම් වෙනුවෙන් යැයි හුවා දක්වමින් පැනවිය හැකි හෝ නිකුත් කළ හැකි නීති  මෙන්ම රෙගුලාසිද මෙම සීමා කරීම් වලට ඇතුළත් වේ.එමෙන්ම  මෙම වාර්තාව පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව් ව්‍යවස්ථා අංක 16 යෙන් ද මාධ්‍ය  නිදහසට තව දුරටත් සීමාවන් පැනවෙන අතර එම ප්‍රතිපාදනයේ සඳහන් වන්නේ මූලික අයිතිවාසිකම් අනුකූල නොවීමක් තිබුණද පවතින නීති වල වලංගු භාවය පවත්වාගෙන යෑමයි මෙම සීමාවන් ජාත්‍යන්තර  නීතිය යටතේ තිබිය හැකි සීමාවන් අභිබවා යෑමක් ලෙස මෙම වාර්තාව පෙන්නුම් කරයි.මාධ්‍ය  නිදහසට ප්‍රතිවිරුද්ධව රජය මෑත අතීතයේ සුන්බුන්  අතරින්  ගොඩනැගීමට යෙදුණු නවතම අවිය වන්නේ පුවත් පත් මණ්ඩල නීතියයි. ආඥාදායකත්වයේ කුණු බාල්දියට මාධ්‍ය හා ප්‍රකාශන නිදහස ඇද දැමීමේ මෙම නවතම පියවර පරාජයට පත් කිරීම සඳහා මාධ්‍යයන් ඒ පිළිබඳව නිදහස් ලෙස අදහස් ප්‍රකාශ කිරීමට ජනතාවට ඉඩ ලබා දිය යුතුය.මුද්‍රිත  හා විද්‍යුත් මාධ්‍යයන් පුළුල් ලෙස රජය සතුව වුණු ක්‍රමයක් පැවතීම නිසැකයෙන්ම මාධ්‍ය මර්දනයට තුඩු දෙයි .විශේෂයෙන් එම අංශයට පරිබාහිරව රාජ්‍ය මාධ්‍ය මර්ධනයක්ද පවතින විට රාජ්‍ය මාධ්‍ය අංශයේ බොරු හා එක් පැත්තක් පමණක් පෙන්වන මත අභියෝගයට ලක් කළ නොහැක.කේසේ වුවත් පුද්ගලික  මාධ්‍ය අංශය පටු ඕනෑකම් නොතකා මාධ්‍ය නිදහස වෙනුනේ නැගී සිටින්නේ නම් හුදෙක් රාජ්‍ය සන්තක මාධ්‍ය ක්‍රමයට මාධ්‍ය නිදහස යටපත් කළ නොහැක. මාධ්‍ය නිදහස වනාහී සිතීමේ නිදහස පවා රඳා පවතින්නා වූ පුළුල් ප්‍රකාශන නිදහසේම කොටසකි. අවසානයේ සත්‍ය රඳා පවතින්නේ දණ්ඩනයට ලක් වීමේ භීතියෙන් තොරව සිතීමට හා අදහස් ප්‍රකාශ කිරීමට කෙනෙකුට ඇති නිදහස මතයි මාධ්‍ය  යනු වෙඩි උණ්ඩයට වඩා බෙහෙවින් ප්‍රබල වූ ආයුධයක් වන අතර එය සිතීමේ හා නිදහස් ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින්නක් විය යුතුය.එබැවින් අඩු වශයෙන් එම හේතුව නිසාවෙන් වර්තමානයේ රටම මුහුණ පා ඇති අර්බුද කාරී තත්වය අවම කිරීමට නම් ආරම්භයක් වශයෙන් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ පූර්ණ ප්‍රකාශන නිදහසට ඉඩදෙන ලෙස ආණ්ඩුවට ප්‍රකාශ කළ යුතුය.මෙම කරුණ සම්බන්ධයෙන් පුද්ගලික  මාධ්‍ය විසින් ධනාත්මක කාර්ය භාර්යයක් නිසැකයෙන්ම ඉටු කළ යුතුව ඇත.