Friday, December 27, 2019

උසස් පෙළ සමත් සිසුන් මාස 6ක් ඇතුළත විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමට රජයෙන් තීරණයක්



ඊයේ නිකුත් කෙරුනු උසස් පෙළ විභාගයේ ප්‍රථිපල අනුව සරසවි වරම් හිමිකරගත් සිසුන් මාස 6ක් ඇතුලත විශ්ව විද්‍යාල සඳහා බඳවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
එමඟින් ශිෂ්‍ය ආකල්ප ඔවුන්ගෙන් තුරන් වීමට ඉඩ නොදී තබා ගැනීමටත් බුද්ධිමතුන් ලෙස ඔවුන්ගේ සේවය රටට ලබා ගැනීමටත් හැකිවනු ඇතැයි හෙතෙම විශ්වාසය පල කරනවා.

මෙම තත්වය වෙනස් කර හැකි ඉක්මනින්ම ඔවුන්ව විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීම තුලින් ඔවුන්ගෙන් රටට ඵලදායක සේවාවක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ.මෙ වන විට පසුගිය වසරවල්වල උසස් පෙල හදාරා විශ්ව විද්‍යාල වරම් අපේක්ෂාවෙන් කණ්ඩායම් දෙකක් සිටින අතර ඔවුනට වසර එක හමාරකට වඩා වැඩි කාලයක් බලා සිටීමට සිදුව තිබෙනවා.

Tuesday, December 24, 2019

නිරෝගී දරු උපතකට උපදෙස්




උපදෙස්

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය

සම්පත් ඥානරත්න

දික්ඔය මූලික රෝහල

නිරෝගී දරු සම්පතක් කියන්නේ මාපිය යුවළකට සම්පතක්. එහෙත් නිරෝගී දරුවකු බිහි කිරීම සඳහා වැදගත් වන්නේ මව විසින් දරුවා කුස තුළ දරා සිටින දස මස පමණක් නොවේ. අනාගතයේ දිනක මවක වීමට පෙරුම් පුරන හැම යුවතියකම දිනෙක නිරෝගී දරුවකු බිහිකිරීමට සැලකිලිමත් විය යුතුය. එසේම දියණියක සිටින හැම අම්මා කෙනෙකුම අනාගතයේදී මවක වීමට තම දියණිය කායික සහ මානසික වශයෙන් සූදානම් කරවීමේ තමා සතු වගකීම වටහා ගත යුතුය. මේ ඒ සඳහා වැදගත් වන වටිනා වෛද්‍ය උපදෙස් කිහිපයකි.

පෙර සූදානම

එසේ කී විට යුවතියක ලෙස ඔබ තරමක් කලබල විය හැකියි. විවාහයට පෙර දරු සම්පත් ගැන සිතීම සමාජ සම්ප්‍රදායන්ට අනුකූල නොවිය හැකි නිසාය. එහෙත් නිරෝගී දරු සම්පතක් ලබා ගැනීමට නම් විවාහයට පෙර ඒ පිළිබඳ නිසි සැලසුමක් තිබිය යුතුය. නිරෝගී දරුවකු ලෙස අදහස් කරන්නේ නිසි වයස් සහ නිසි බර සම්පූර්ණ වූ දරු උපතකටය. බොහෝ විට අද සමාජයේ දක්නට ලැබෙන අඩු වයස් සහ අඩු බර දරු උපත්වලට සහ ඇතැම් විට මළ දරු උපත්වලට පවා හේතු වන්නේ සැලසුමක් නොමැති ගැබ් ගැනීම් ය. එම නිසා විවාහ වීමට සිටින යුවළක් තම මංගල උත්සවය පිළිබඳ සැලකිලිමත් වන්නා සේම විවාහයෙන් පසුව දරු සම්පත් ලබාගැනීම පිළිබඳ ව සැලසුම් කළ යුතුය. ඒ සඳහා දෙදෙනාම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු හමුවී තමා දරුවකු ලබාගැනීමට අපේක්ෂා කරන කාලය, ඒ දක්වා කළ යුතු උපත් පාලන ක්‍රම ආදිය පිළිබඳ නිසි දැනුවත් බවක් ලබාගත යුතුය. විවාහ වූ වහාම දරුවකු ලබාගැනීමට අපේක්ෂා කරනවා නම් ඒ සඳහා දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය සුදුසු මට්ටමක තිබෙනවා ද යන්න මෙහිදී දැනගත හැකිය.

පූර්ව ප්‍රසව වෛද්‍ය උපදේශනය ලෙස හඳුන්වන්නේ මෙයයි. මෙය ඉතා වැදගත් වන්නේ එසේ නොමැතිව විවාහ වූ වහාම දෙදෙනා බලාපොරොත්තු නොවූ අවස්ථාවක සිදුවන හදිසි පිළිසිඳගැනීමක් හේතුවෙන් ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවිය හැකි නිසාය. උදාහරණයක් ලෙස කිසියම් කාන්තාවක් ගැබ් ගැනීමට නුසුදුසු රෝගී තත්ත්වයකින් පෙළෙනවා නම් ඒ බව නොදැන ඇය ගැබ්ගතහොත් එය දරු ගැබට මෙන්ම මවගේ ජීවිතයට ද තර්ජනයක් විය හැකිය. එවැනි අවස්ථාවක දරු ගැබ විනාශ කිරීමට පවා පෙළඹිය හැකිය. එයින් තවත් ප්‍රශ්න රැසක් උද්ගත විය හැකිය. එම නිසා එවැනි අවදානමකට ලක්නොවීම සඳහා අප මුලින් කී පූර්ව ප්‍රසව වෛද්‍ය උපදේශනයට ගැබ් ගැනීමට පෙර සැමියා සහ බිරිය යන දෙදෙනාම සහභාගි වීම ඉතා වැදගත් වේ. එහිදී දෙදෙනා තුළ හෝ එක් අයෙකු තුළ හෝ දරු සම්පතක් ලබාගැනීමට බාධා කරන කරුණු තිබේ නම් කල්තියා ඒවා හඳුනාගෙන අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ලබාගැනීමෙන් නිරෝගී දරු සම්පතක් ලබාගැනීමට සූදානම් විය හැකිය. එම නිසා පූර්ව ප්‍රසව වෛද්‍ය උපදේශනය හිතාමතා මඟ හැරීම නොකළ යුතුය.

අවශ්‍ය කාලය

ඉහත කී ආකාරයට මවක් වීම සඳහා පළමුව ශාරිරික වශයෙන් සූදානම් වීම මෙන්ම තමන්ගේ ලෝකයට අලූතින් එකතු වන දරුවා පිළිගැනීම සඳහා මව සහ පියා තුළ වන මානසික තත්ත්වය ද ඉතා වැදගත් ය. විවාහයට පෙර සිටම දරු සම්පත් සැලසුම් කළ යුත්තේ ඒ නිසාය. අලූත විවාහ වූ යුවළක් තුළ බලාපොරොත්තු රැසක් තිබිය හැකිය. ඇතැම් විට රැකියාවේ උසස් වීම්, විදේශ ගතවීම්, වැඩිදුර අධ්‍යාපන කටයුතු ආදිය ඒ අතර වේ. එහිදී කලින් සැලසුම් නොකර හදිසි අවස්ථාවක දරු පිළිසිඳගැනීමක් සිදුවුවහොත් ඒ හේතුව නිසා මවගේ සහ පියාගේ ඉහත කී සැලසුම් සියල්ල වෙනස් කිරීමට සිදුවේ. එවැනි අවස්ථාවකදී මව විශේෂයෙන් දැඩි මානසික ආතතියකට ලක්විය හැකිය. එය දරු ගැබට හානිකර වේ. මවගේ මානසික නිරවුල් බව කුස තුළ සිටින දරුවාගේ වර්ධනයට ඉතා වැදගත් වන නිසා තමන්ට දරුවකු අවශ්‍ය වන කාලය විවාහයට පෙර සිටම තීරණය කරගෙන විවාහ වීම වඩා උචිතය. එවිට අනවශ්‍ය පිළිසිඳ ගැනීම්වලින් වැළකී තමන්ට අවශ්‍ය කාලයේදී දරුවකු ලබාගත හැකිය.

සිරුරේ හැඩය

විවාහ උත්සවයට සූදානම් වන කාලයේදී යුවතියක තමන්ගේ සිරුර ගැන කොයිතරම් උනන්දු වනවාද? මංගල දිනයේ සුන්දර මනාලියක් වීම සඳහා තමන්ගේ සිරුරේ හැඩය රැක ගැනීමට කෙතරම් කැපකිරීම් කරනවාද? එහෙත් ඒ සැලකිල්ල තමා මවක් වන විටත් අවශ්‍ය බව දන්නේ කීයෙන් කී දෙනාද ? එසේ කියන්නේ මේ වන විට කාන්තාවන්ගේ අධි පෝෂණය හෙවත් අධික ස්ථුලතාවය විශාල ප්‍රශ්නයක් බවට පත්වී තිබෙන නිසාය. වසර දහයකට පෙර පෝෂණය සම්බන්ධයෙන් අපේ රටේ තිබූ මූලික ප්‍රශ්නය වූ මන්දපෝෂණය වෙනුවට මේ වන විට අධි පෝෂණය වතුකරයේ හැර අනෙක් ප්‍රදේශවල ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වී තිබේ. එය ප්‍රශ්නයක් වන්නේ අධි පෝෂණය හෙවත් අධික ස්ථුලතාවයෙන් යුතු කාන්තාවන් ගැබ්ගත් විට ඇගේ දරු ගැබ ගබ්සා වීමට වැඩි ඉඩක් තිබෙන නිසාය. එමෙන්ම මවගේ ස්ථුලතාව සමග එන දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන් නිසා දරුවාට සංජානීය ආබාධ ඇතිවීමේ අවදානම ද වැඩිවේ. එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා දරුවකු අපේක්ෂා කිරීමට පෙර තමන්ගේ සිරුරේ උසට ගැලපෙන බර පවත්වාගෙන යාමට හැම කාන්තාවක්ම සැලකිලිමත් විය යුතුය.

අධි පෝෂණය

වර්තමානයේ බොහෝ යුවතියන් මුහුණ දෙන අධික තරබාරු සිරුරේ ප්‍රශ්නයට මුල ඔවුන් කුඩා කල සිට පුරුදු වූ වැරදි ආහාර පුරුදු බව නොකියාම බැහැ. දරුවන් කුඩාකළ බොහෝ විට මව්වරු ප්‍රිය කරන්නේ තමන්ගේ දරුවා‘‘බෝල ගෙඩියක් ‘‘ මෙන් තරබාරුව සිටිනු දැකීමටයි. සිරුර පිරිපුන් වූ විට දරුවා නිරෝගී බවට ඇතැම් මව්වරු තුළ වැරදි අදහසක් තිබේ. එම නිසාම කුඩා කළ සිට දරුවාට වැඩි ආහාර ප්‍රමාණයක් කැවීමට මව්වරු නිතරම උත්සාහ කරති. එමෙන්ම රූපවාහිනි නරඹමින් දරුවාට කැවීම මව්වරු විසින් කරනු ලබන තවත් වරදකි. එයින් දරුවාට තමා කන කෑම ප්‍රමාණය ගැන අදහසක් නැත. දරුවාගේ අසීමිත කෑම අවසානයේ ඔහු ස්ථුලතාවයට පත්කරයි. පිටි සහ තෙල් සහිත ආහාර සහ ක්ෂණික ආහාරපාන ගැනීම ද අධි පෝෂණයට හේතුවකි. විශේෂයෙන් ගැහැණු දරුවන් සිටින මව්වරු දරුවන් කුඩාකළ සිට ඔවුන්ගේ පෝෂණය ගැන විශේෂයෙන් උනන්දු විය යුතුය. නිතරම තම දරුවන්ට සමබල ආහාර වේලක් ලබාදිය යුතුය. කෑමෙන් පසු අතුරුපසට පලතුරක් ද එක්කර ගන්න.

තරබාරු බවට අත වනන තවත් අයහපත් ආහාර පුරුද්දක් වන්නේ අවබෝධයකින් තොරව සිදු කරන කෑම පාලනයයි. ඇතැම් තරබාරු කාන්තාවෝ තමාගේ සිරුරේ බර අඩුකර ගැනීමට උදෑසන ආහාරවේල මඟ හරිති. එසේ කුසගින්නේ සිට ඊළඟ ආහාරවේල විශාල ප්‍රමාණයකින් ගනිති. එය කිසිසේත් සාර්ථක ආහාර පාලනයක් නොවේ. තෙල් සහ පිටි ආහාර ගැනීම අඩුකොට ධාන්‍ය සහ පළා වර්ග වැඩිපුර ආහාරයට ගත යුතුය. පැණි බීම වර්ග වෙනුවට පිරිසිදු ජලය ප්‍රමාණවත් පරිදි පානය කිරීම මෙන්ම දිනකට විනාඩි 30ක්වත් ව්‍යායාම කිරීමට ද අමතක නොකළ යුතුය.

සටහන - [සුරේකා නිල්මිණි ඉලංගකෝන්]