Friday, November 29, 2019

කොලිවුඩයේ තරුව ධනුශ්


ධනුෂ් කියන්නේ කැත මනුස්සයෙක්. කාගෙවත් රූපයක් ගැන ඒ වගේ විනිශ්චයක් දෙන එක මානුෂීය නැති බව ඇත්ත. නමුත් සංසන්දනාත්මකව බලන රූපය වගේ සාධකයකදී ධනූෂ් ව ඒ විදිහට හඳුන්වන්න මං කැමතියි. ඔව්, ධනූෂ් කියන්නේ කැත මනුස්සයෙක්. ධනූෂ්ට ආරෝහ පරිණාහ දේහයක් නෑ. හිටගත්තම දුම්කොළ කෑල්ලක් වගේ. බිත්තියට හේත්තු වුණාම හනස්සක් වගේ. හැබැයි ඒ කැත ම තමයි ධනූෂ්ගේ ලස්සනම සාධකය.

ඕනෑම ආකාරයක රූගත කිරීමක් නරඹන්න අපි හැමෝම වගේ කැමතියි. අදටත් ගමනක් යන අතරමඟ පයින් ගියත්, වාහනේක ගියත්, set එකක් පහු වෙද්දී ටිකක් නැවතිලා slow කරලා ඒ දිහා බලන්න මිනිස්සු යොමු වෙනවා. සමහරු තමන්ගේ තත්ත්වය නඩත්තු කරන්න ටිකක් හොරෙන් වගේ බලලා යන ගතියකුත් තියෙනවා. ඉන්දියාව වගේ රටක නම් ගෙවල් ළඟ shooting කියන්නේ නිවාඩු දාලා දවසම location එක ළඟ ගැවසෙන තරමේ හේතුවක්.

ධනූෂ් රඟන තැන් වල ශූටින් බලන්න රැස් වෙන ජනකාය අහනවා කෝ නළුවා කියලා. තාක්ෂණික කාර්ය මණ්ඩලය පෙන්වනවා මේ කෙසඟ තරුණයාව. ජනකාය මදි නොකියන්න උසුළු විසුළු කරනවා, නාට්ටාමි කෙනෙකුටත් අන්ත මේ පරඬැල දාලා ෆිල්ම් හදන්න පිස්සු ද කියලා. ඒත් කලක් යද්දී මිනිසුන්ටම තේරෙනවා කවරෙන් පොත මනින්න බෑ කියලා.

ඉන්දියාවෙන් මුලින්ම YouTube එකේ මිලියන 100ක views ප්‍රමාණය ඉක්මවූ වීඩියෝව නිකුත් වුණේ ධනූෂ්ගෙන්. ඒ තමයි "කොලවෙරි" ගීතය. එංගලන්තයේ BBC රේඩියෝවේ සිට පිටකොටුවේ ගුණසිංහපුර බස් ස්ටෑන්ඩ් එක දක්වා ලොව පුරා සෑම තැනකම මේ විකාරරූපී ගීතය වාදනය වෙනවා. මිනිස්සු සවන් දෙනවා. බැඳෙනවා. Viral වෙනවා. ගීතය ගැනත් එය ගයන කෙසඟ මිනිසා ගැනත් උනන්දු වෙනවා. මේ වසරේ ලෝකයම හොල්ලපු කොලිවුඩ් hit එක Rowdy Baby. Kolaveri ඉඳලා Rowdy Baby දක්වා එද්දී ධනූෂ්ගේ පරිණත වීම හොඳින්ම බලන්න පුළුවන්.

මට නම් ධනූෂ්ගේ hero factor එක ලොකුවටම දැනුණේ 'Maari' films දෙකෙන් වගේම 'Velai Illa Pattadhari' films දෙකෙන්. අනිත් ඒවා වැඩක් නෑ කියනවා නෙවෙයි, නමුත් මට ඒ films හතරම ඇඟට දැනුණා.

ක්ෂේත්‍රයට අඩිය තිබ්බ මුල කාලේ හැමෝම ධනූෂ්ට හිනා වෙනවා, කොලිවුඩයේ අනාගතය අනාථයි කියලා. ඒත් අද, ධනූෂ්ගේ නම සිනමා තිරයේ අවතීර්ණ වෙනකොට මිනිස්සු ඇති පදමට හුරේ දානවා. ඒ ඇයි? ක්‍රියාවෙන් තමන් නළුවෙක් කියන දේ ඔප්පු කළ නිසා. රංගන ශිල්පියෙක් කියන්නේ රංගනය රැකියාව කරගත් පුද්ගලයා. ඒත් හැමෝම රංගන ශිල්පියෝ නෙවෙයි. රඟපානවා කියන එක දැනෙන්නේ නැත්නම්, ඒක තමයි real රඟපෑම. ධනූෂ් දන්නවා අපේ හදවතට address කරන්න දෙන්න ඕන real feeling එක.

ධනූෂ් කියන්නේ මම ගොඩක් ආදරය කරන වැඩ්ඩෙක්.
වැඩ්ඩෙක් නෙවෙයි නම් තමිල් නාඩුවේ සිනමා රජා තමන්ගේ දුවව මේ පරඬැලට බන්දලා දෙයි ද?