Monday, June 24, 2019

රජය සමඟ ව්‍යාපාර කරන මහජන නියෝජිතයන්ට වැඩ වරදියි – මන්ත්‍රීධුරවලින් නෙරපීමේ අධිකරණ ක්‍රියාමාර්ගයක්





පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජය සමග ව්‍යාපාර කිරීම මන්ත්‍රිධුර අහිමි වීමේ වරදක්ව තිබියදී වත්මන් පාර්ලිමේන්තුවේ සිටින එවැනි මන්ත්‍රීවරුන් පිළිබඳ ඉක්මන් විගණනයක් සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට ක්‍රියා කරන බව, පුනරුදය ව්‍යාපාරය වෙනුවෙන් වික්ටර් අයිවන් මහතා කතානායකවරයා සහ විගණකාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.
මහජන මන්ත්‍රීවරුන්ට නීතියට පටහැනිව රජය සමඟ ව්‍යාපාර කරන්නට ඉඩහැර තිබීම, පාර්ලිමේන්තුව දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යන වරදක් බව පෙන්වා දෙන ඔහු එම වරද පළමුවෙන්ම රටට පෙන්වා දීමේ ගෞරවය අධිකරණයට හිමිවන බවද ප්‍රකාශ කරයි. අධිකරණයේ එම ජනහිතකාමි ව්‍යවස්ථාමය ස්ථාවරය යළි අධිකරණයට පෙන්වා දී, නීතියට පටහැනිව රජය සමඟ ව්‍යාපාර කරන මහජන නියෝජිතයන් ගැන ඉක්මන් විගණනයක් සඳහා වන නියෝගයක් අධිකරණයෙන් ලබාගැනීම තුළින් එම මන්ත්‍රීවරුන් ධුරවලින් ඉවත් කිරීම සහ ඉදිරි ජනාධිපතිවරණයට හෝ පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කිරීමේ අයිතියද ඔවුන්ට අහිමි කිරීමට අපේක්ෂා කරන බව වික්ටර් අයිවන් මහතා පවසයි.
ඔහු මේ සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරියට යොමු කළ පළමු ලිපියට ප්‍රතිචාර දක්වමින් කතානායකවරයා කියා සිටින්නේ, ඒ පිළිබඳ නෛතික පියවර ගැනීමට හැකියාව ඇත්තේඅල්ලස් හෝදූෂණවිමර්ශන කොමිෂන් සභාව හා නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතනයන්ට බවය. නීතිමය පියවර ගැනීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොපමණ පිරිසක් එම වරද කරන්නේද යන්න සොයා බැලීමේ වගකීමක් කතානායකවරයාට තිබෙන බව, ඊට පිළිතුරු ලිපියක් යොමු කරමින් අයිවන් මහතා සඳහන් කරන අතර ඒ සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග දෙකක්ද යෝජනා කර තිබේ.