Sunday, January 26, 2020

කොරෝනා වයිරසය ගැන ලාංකාවේ නවතම තත්වය

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කෙරුණු පුද්ගලයින් 4 දෙනෙකුගේ සැක සහිත රුධිර සාම්පල පරීක්ෂාවේදී ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ, අංගොඩ බෝවන රෝග විද්‍යායතනයෙන් අදාළ රුධිර සාම්පල යොමු කර තිබූ බවයි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කරන බව ඔහු පැවසුවේ ය.
මේ වනවිට මෙරටින් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වී නොමැති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයා තහවුරු කළේ ය.
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන රෝගීන් සිව්දෙනෙකු මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබති.
එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්නායක මහතා සඳහන් කළේ, චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු ද ඒ අතර වන බවයි.
ඊට අමතරව ලාංකික කාන්තාවක් සහ තව ත් පිරිමි අයෙකු එලෙස ප්‍රතිකාර ලබන පිරිසට අයත් වේ.
ඔවුන් විශේෂ ඒකකයක රඳවා ඇතැයි වෛද්‍ය හසිත අත්තනායක මහතා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, අදාළ රෝගය සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ සහ අත්හදා බැලීම් කරමින් පවතින බවයි

Monday, January 6, 2020

විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි "විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි..."



ලංකාව වනාහි දැඩි සංස්කෘතික මතධාරීන්ගෙන් ගහන වූ ආගම මුල් කොටගත් දැඩි සම්ප්‍රදායානූකූල ජනතාවක් වෙසෙන රටකි. ආසියානුකරයේ බොහෝ රටවල් වලට පොදු වූ මේ සාමාජීය වටපිටාව ලංකාව සඳහා වලංගු වන්නේ දුරාතීතයේ සිටමයි. මෙවන් සංස්කෘතික වටපිටාවක වෙසෙන ශ්‍රී ලංකාවේ කාන්තාව සඳහා සමාජය තුල හිමිව ඇත්තේ ඉතාම සුවිශේෂි ස්ථානයකි. එම තත්වය බොහෝවිට ලාංකීය කාන්තාවට ආවාසිදායක තත්වයක් උදා කලද, වර්ථමානය වනවිට එම තත්වය තරමක් පහවෙමින් පැවතියද, තවමත් බටහිර කාන්තාවට හිමි නිදහස ලාංකීය කාන්තාවට ඉමහත් දුරකින් පවතී.


තවමත් කොල්ලන් හත් පඳුරේම ලැග ගෙදර ආවත් නාවා මයේ පුතේ කියා ගෙට ගන්නා සමාජයක ගැහැණු ළමයෙකුගේ ඉතාම කුඩා වරදකදී පවා ඇය හත් පඳුරියක ලෙස හංවඩු ගැසීමට දෙවරක් නොසිතයි. එවන් පසුබිමක් තුල ලාංකීය සමාජයේ දූෂණයට ලක් වූ කාන්තාවකගේ ඉරණමද ඊට කිසිසේත්ම දෙවනි නොවේ. අද ඔබවෙත ගෙන එන ගී සංවේදනාව, විචාරය එවන් ප්‍රස්තුතයකට ආනුව නිර්මාණය වූ ඉතාම අගනා ගීතයකි.


ජීවිතයේ කුමන හෝ අසව්ථාවක ඔබගේ සොයුරියක්, හිතවතියක් මේ තත්වයට පත්ව තිබෙනවානම් එවන් අවථාවක ඇය මුහුණ දෙන දැඩි ඛේදනීය තත්වය පිළිබඳ ඔබට හොඳ අවබෝධයක් පවතිනු ඇත. දූෂණයට ලක්වූ අහිංසකාවියකට මෙවන් රටක් ඉන් ඉදිරියට අනාගතයක් ඇත්නම් ඒ ඉතාම කලාතුරකිනි. බොහෝ අවස්ථාවල තමන්ට සිදුවූ අභාග්‍ය හොර රහසේම සඟවා ගැනීමට ඇය පෙළඹෙනුයේ තමන්ගේ ආත්ම ගරුත්වය සහ අනාගතය ආරක්ෂාකරගැනීමේ අරමුණෙනි. මෙවන් දියණියන් මේ සමාජයේ කොතෙකුත් ඉන්නවාට සැකනැත. එසේ ලොවෙන් සඟවා සිටියද, ඈ පතිකුලයට යන යම් දිනෙක ඇයට මහත්වූ ප්‍රශ්න රාශියකට මුහුණදීමට සිදුවන්නේ ගතානුගතික සම්ප්‍රදායෙන් ලංකාවේ මිනිස් ඔලු ගෙඩි පිරී ඉතිරී ඇතිහෙයිනි. එය එසේ නොවුනද, නොඉඳුල් කෙල්ලෙක් ලබාගන්න කවුරු උනත් කැමතියි. බෝධිසත්ව පෙම්වතෙකු මිස, වෙනත් අයෙකු කුමනාකාරයකින් හෝ කිළිටි වූ යුවතියක ලබා ගැනීමට අකමැති සමාජයක එවන් තත්වයකට මුහුණදුන් යුවතියකගේ ඉරණම කෙතරම් සෝචනීයදැයි ඔබට සිතාගත හැකිවනු ඇත.


මේ නිසා මෙවන් අවස්ථාවකදී නීතියේ පිළිසරණ පතා වරදකරුවන්ට නිසි දඬුවම් ලබා දීමට ඉදිරිපත්වන යුවතියන් ඉතම දුලබයි. ඇතැම් විට කුඩා කලම මෙවැනි අතවරයන්ට මුහුණපාන යුවතියන් තමන්ගේ මුලු මහත් අනාගතයම අඳුරුකරගන්නේ ඉතාම ඛේදනීය අයුරින්ය. එවන් බොහෝ දෙනා අවසානයේ තමන්ගේ සිරුර විකුණාදැමීමේ තත්වයට පත්වෙති.


කෙසේ වුවද ගීතය මඟින් නිරූපණය කෙරෙනුයේ එවැනි අවසනාවන්ත තත්වයකට මුහුණ දී නීතියේ පිළිසරණ මතා ආ යුවතියක් සම්බන්ධයෙනි.


ගීතය ගලාගෙන යනුයේ දයාබර සොහොයුරෙකු නැඟණියකට කරන ආමන්ත්‍රණයක ස්වභාවයෙනි.


"විසුරුණු මල් පෙති දෝතට ගත් කුමරි

ඒ පෙති එක්‌ කර මලක්‌ සොයන බොලදී

සරදම් නොකරමි ආදරයෙන් කියමි

විසුරුනු පෙති යලි මලක්‌ නොවෙයි නැගණි..."


මුලුමහත් සිද්ධි දාමයක්ම ගීතයේ මුල් කොටසින්ම ඉතාම කදිමෙට ඉදිරිපත් කරනුයේ, ගීතයේ නිර්මාතෘ වරයාවන බන්දුල නානායක්කාරවසම් නම් ප්‍රවීණ රචකයාගෙ ප්‍රතිභාව මනාව සපථ කරමිනි.


ඇය ඇගේ ජීවිතයේ කාන්තාවකට විඳිය හැකි අමිහිරිම දේ විඳ ඇත. මගේ නෙත්මානයේ මට මැවී පෙනෙනුයේ, හැඬූ කඳුලින් පිස්සියක මෙන් කල්ගතකරන, පාපතරයෙකු අතින් කිළිටිවී ගිය අවිහිංසක යුවතියකගේ මලාන්ක මුහුණයි. ඇය තමන්ට අහිමි වී ගිය උත්තරීතර පවිත්‍රත්වය යළි සොයමින් සිටී.


ඇය එය සොයමින් හඬමින් ඇවිදයයි. පොලීසියේ පිහිට පතයි. උසාවියෙන් යුක්තිය බලාපොරොත්තුවෙයි. කෙලිදෙලින් සැහැල්ලුවෙන් කාලය ගතකල කුඩා ඇය, අද ගැහැණියකවී කිසිදා පය නොතැබූ උසාවි බිමක සිට ජීවිතයා ඉල්ලා හඬා වැටේ. අනාගතය උදෙසා ඉකිගසයි. නමුදු ඇත්තෙන්ම මේ සමාඅජය ඇයට ඒ දේවල් යළි ලබා දීමට සූදානමින් සිටීද? ඇයට ඇගේ අනාගතය, පවිත්‍රත්වය මේ උසාවියෙන් ලැබෙයිද. ඒසේ ලැබෙනු කෙසේ වෙතත් උසාවියේ නීතීඥයන් අබිමුව ඇය දෙවන වතාවටත් දූෂණය වෙයි. ගොරහැඩි තිරිසන් පපුවකට ඈ හිර වූ මොහොතේ පටන් ඒ පිසාචයාගේ පහත් නරුම ආසාවන් සංසිඳෙන තුරු ඇය මුහුණ දුන් කාලකණ්නි අත්දැකීම ඈට යලි යලිත් හඬගා ලෝකෙටම ඇසෙන්නට පැවසීමට සිදුවේ.


සල්ලිවලට හෘද සාක්ෂිය විකුණගෙන කන විත්තියේ උගත් නීතීඥ මහතුන් නැවත වරක් ඇයව ප්‍රසිද්ධියේ නිරුවත් කොට දමනු ඇත. අවසානයේ වරද කරුවන් නීතියේ රැහැනට හසුවුවද, ඇයට අහිමි වූ ඇගේ ජීවිතය ඇයට යලි ලබා දීමට උසාවියකට හැකිවනු ඇතිද? රචකයා පවසන්නේ එයයි. ඒ සඳහා ඔහු ඉතාම කදිම උදාහරණයක් ලබා දී ඇත. අලංකාරව පිපි මලක පෙති තලා පොඩිකර කඩා දැමූ පසු ඒ මල යලි පෙර තිබූ පරිදිම සකස් කරන්න බැහැ. ඉතින් මෙ අහිංසකාවිය කරන්න හදන්නෙ එයයි. තමන්ගෙ විසිරුණු ජීවිතය, අනාගතය, යලි මලක් කරන්නයි ඇගේ උත්සාහය. නමුත් ඇයට සාර්ථක වීමට නොහැකියි. ඒ වෙනුවට සමහරවිට ම්තැලුණු මලද නටුවෙන්ම ගැලවී මිලන වී යාමටද හැකිවේ.


ඉතින් ඇගේ මේ උත්සාහයේ නිශ්ඵල බවයි රචකයා ඈට මේ ආදරයෙන් කියල දෙන්නෙ. මේ කරන්නෙ විහිළුවක්වත් සරදමක්වත් නෙවෙයි, නමුත් පවතින ලෝක ස්ව්හාවයයි ඔහු ඇයට මෙසේ දයාබරව විස්තර කරන්නෙ.


දියණියක විසින් උගත යුතුම, සමාජයේ තිබෙන තවත් එක් කාරණයක් ගීතයේ ඊළඟ පදපෙලෙන් කියවෙනවා. අපූරු උපමා රූපක භාවිතා කරල එය රසික හදවත් තුලට සංගීතයවත්ව සම්ප්‍රේශණ්ය කරන්න යොදල තිබෙන පදමාලාවනම් අති විශිෂ්ඨයි.


"වෙරළ සොයා රළ පෙළ දිව ආවත්

වෙරලට කිසිදා දියඹ දකිනු හැකිදො

බදට පියපත් යුවලක්‌ ලැබුනත්

අහසේ දෙකෙලවර නුඹට දිනනු හැකිදෝ..."


මෙහි වෙරළට උපමා කොට ඇත්තේ මේ යුවතියගේ යොවුන් ජීවිතයයි. රළ පෙල යනු කිසිදු අරමුණක් හෝ ස්ථීරත්වයක් නොමැතිව ඉබාගාතේ යන මෙවැනි ජීවිත බිලිගැනීමට මාන බලන දඩ බලු රංචුවයි.


ඉතින් මේ වෙරළ කරා එන රළ පෙල වෙරළ විසින් කිසිදු විචාරයකින් තොරව ආදරයෙන් වැළඳගත්තද, මේ රළ පෙලේ අතීතයවත්, ගමන් ඇරඹුනු තැනවත් මීට කලින් නතර උන තැන්වත් මේ අහිංසක වෙරළ දන්නෙ නෑනෙ. එත් එක්කම කවදාවත් වෙරළට රැල්ල හොයාගෙන රැල්ල එක්ක යන්නත් බෑ. ඒ දියඹ දකින්නත් බෑ. ඒ කියන්නෙ තමන් වෙත එන මිනිස් වෙස් ගත් තිරිසනුන් ගැන අඳුනගන්න තරම් මේ යුවතියටහැකියාවක් නෑ කියනෙකයි.


ඒ වගේම මේ කිරිල්ලිට ඉගිල්ලෙන් සොබාදහමෙන් පියාපත් ලැබුනද, ලෝකයේ දෙකලවර කිසිදින ඇයට අභිනික්මන් කල නොහැකිවනු ඇත.


පෙර කොටස් දෙක මෙන්ම ගීතයේ අවසාන කොටසද ඉතාම කදිම උදාහරණ රැසක් සමඟින් බන්දුල නානායක්කාර මහතා විසින් ලබා දී ඇත.

ලොවේ දසත බඹරු පියමනිනවා. විවිධ මල් උයන්වල නවාතැන් ගන්නවා. මල් නොතලා රොන් අරන් යනවා, සමහර විට මල් තලා පොඩිකර විනාස කර රොන් ලබා ගන්නවා. ඒත් එහෙම කරන බඹරුන්ට කවුරුත් මොකුත්ම නොකීවද, අහිංසක මල් ගොමුවටනම් එල්ලවන අපහාස, උපහාස කෙලවරක් නොමැතිවනු ඇත.


ගීතයේ අවසානයත් සමඟ සියලු දයාබර සොයුරියන්ට, යෙහෙලියන්ට පොදුවේ ඉතාම හොඳ උපදේශයක් ලබා දීමට මෙතුමා මේ ගීය යොදාගන්නවා.


"බඹරුන් පසුපස මල් දිව නොගියත්

අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ

මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්

නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ..."


කෙසේ හෝ, සමස්ථයක් ලෙස බැලූ පසු කෙටියෙන්ම ගීතයෙන් කියවෙන අර්ථය වනුයේ, දයාබර නංගියේ උඩ බලාගෙන කෙලගහන්න එපා කියනෙකයි. නමුත් බුද්ධියට ඉඩදී නුවණින් විමසූ කල මෙම ගීතය සමඟ එකඟ වෙන්න බැරිවුනත් සමාජයේ තවත් අහිංසක බිල්ලක් ගැනීමට පෙර අපි එවන් පාපතරයන් සමාජෙන් තුරන් කිරීමට හැකිනම් එයයි ඇත්තෙන්ම වටිනාකම.


වැරදි කාරයා වසර කිහිපයකින් නැවත සමජ ගත වනු ඇත. නමුදු ඔහු නිසා ජීවිතය විනාශ වූ මෙම යුවතියන්ට ජීවිත කාලය පුරාම සුසුම්ලමින් හිඳීමට වනු ඇත.


කෙසේ වුවද, ස්ත්‍රී දූෂකයාන් පිළිබඳ මාගෙ පුද්ගලික මතයනම් පැහැදිලිව සාක්ෂි සාධක සහිතව ඔප්පුවෙන මෙවැනි පාපතර වැරදිකරුවන් හට කිසිදු සමාවකින් තොරව මරණ දඬුවම ලබා දිය යුතු බවයි. මක් නිසාද ඔහු මේ තත්වයට පත්ව සිටින්නේ, අවිහිංසක තරුණ ජීවිතයක් මරා දැමීමෙනි.


එවැන්නෙකුට සමාවක් හිමි නොවිය යුතුමයි. එවැන්නන් මේ සමාජය ටුල නොසිටියම යුතු අයයි.


කෙසේ හෝ නානායක්කාරවසම්ගේ මෙම විශිෂ්ඨ පදරචනය රෝහණ වීරසිංහයන් විසින් අපූරු ගීතයක් බවට පෙරලද්දී එම ගීතයට ජීවය ලබා දෙන අතුල අධිකාරිගේ ලයාන්විත හඬ මාධූර්ය අප හදවත් ප්‍රකම්පනය කරනුයේ පුදුමාකාර ලෙසිනි. දයාබර නැගෙණියකට දයාබර සොහොයුරෙකුගේ සෙනෙහබර, අවවාදාත්මක ආමන්ත්‍රණය ගීය පුරා ඉතාම සංවේදීව රැකගැනීමට ඔහු සමත්වී ඇත.


විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි

ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි

සරදම් නොකරමි ආදරයෙන් කියමි

විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි


වෙරළ සොයා රළ පෙළ දිව ආවත්

වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ

බඳට පියාපත් යුවලක් ලැබුනත්

අහසේ දෙකලවර නුඹට දිනනු හැකිදෝ


බඹරුන් පසුපස මල් දිව නොගියත්

අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ

මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්

නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ


පද රචනය : බන්දුල නානායක්කාරවසම්

ගායනය : අතුල අධිකාරි

සංගීතය : රෝහණ වීරසිංහ

Friday, December 27, 2019

උසස් පෙළ සමත් සිසුන් මාස 6ක් ඇතුළත විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීමට රජයෙන් තීරණයක්



ඊයේ නිකුත් කෙරුනු උසස් පෙළ විභාගයේ ප්‍රථිපල අනුව සරසවි වරම් හිමිකරගත් සිසුන් මාස 6ක් ඇතුලත විශ්ව විද්‍යාල සඳහා බඳවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
එමඟින් ශිෂ්‍ය ආකල්ප ඔවුන්ගෙන් තුරන් වීමට ඉඩ නොදී තබා ගැනීමටත් බුද්ධිමතුන් ලෙස ඔවුන්ගේ සේවය රටට ලබා ගැනීමටත් හැකිවනු ඇතැයි හෙතෙම විශ්වාසය පල කරනවා.

මෙම තත්වය වෙනස් කර හැකි ඉක්මනින්ම ඔවුන්ව විශ්ව විද්‍යාලවලට බඳවා ගැනීම තුලින් ඔවුන්ගෙන් රටට ඵලදායක සේවාවක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ.මෙ වන විට පසුගිය වසරවල්වල උසස් පෙල හදාරා විශ්ව විද්‍යාල වරම් අපේක්ෂාවෙන් කණ්ඩායම් දෙකක් සිටින අතර ඔවුනට වසර එක හමාරකට වඩා වැඩි කාලයක් බලා සිටීමට සිදුව තිබෙනවා.

Tuesday, December 24, 2019

නිරෝගී දරු උපතකට උපදෙස්




උපදෙස්

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය

සම්පත් ඥානරත්න

දික්ඔය මූලික රෝහල

නිරෝගී දරු සම්පතක් කියන්නේ මාපිය යුවළකට සම්පතක්. එහෙත් නිරෝගී දරුවකු බිහි කිරීම සඳහා වැදගත් වන්නේ මව විසින් දරුවා කුස තුළ දරා සිටින දස මස පමණක් නොවේ. අනාගතයේ දිනක මවක වීමට පෙරුම් පුරන හැම යුවතියකම දිනෙක නිරෝගී දරුවකු බිහිකිරීමට සැලකිලිමත් විය යුතුය. එසේම දියණියක සිටින හැම අම්මා කෙනෙකුම අනාගතයේදී මවක වීමට තම දියණිය කායික සහ මානසික වශයෙන් සූදානම් කරවීමේ තමා සතු වගකීම වටහා ගත යුතුය. මේ ඒ සඳහා වැදගත් වන වටිනා වෛද්‍ය උපදෙස් කිහිපයකි.

පෙර සූදානම

එසේ කී විට යුවතියක ලෙස ඔබ තරමක් කලබල විය හැකියි. විවාහයට පෙර දරු සම්පත් ගැන සිතීම සමාජ සම්ප්‍රදායන්ට අනුකූල නොවිය හැකි නිසාය. එහෙත් නිරෝගී දරු සම්පතක් ලබා ගැනීමට නම් විවාහයට පෙර ඒ පිළිබඳ නිසි සැලසුමක් තිබිය යුතුය. නිරෝගී දරුවකු ලෙස අදහස් කරන්නේ නිසි වයස් සහ නිසි බර සම්පූර්ණ වූ දරු උපතකටය. බොහෝ විට අද සමාජයේ දක්නට ලැබෙන අඩු වයස් සහ අඩු බර දරු උපත්වලට සහ ඇතැම් විට මළ දරු උපත්වලට පවා හේතු වන්නේ සැලසුමක් නොමැති ගැබ් ගැනීම් ය. එම නිසා විවාහ වීමට සිටින යුවළක් තම මංගල උත්සවය පිළිබඳ සැලකිලිමත් වන්නා සේම විවාහයෙන් පසුව දරු සම්පත් ලබාගැනීම පිළිබඳ ව සැලසුම් කළ යුතුය. ඒ සඳහා දෙදෙනාම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු හමුවී තමා දරුවකු ලබාගැනීමට අපේක්ෂා කරන කාලය, ඒ දක්වා කළ යුතු උපත් පාලන ක්‍රම ආදිය පිළිබඳ නිසි දැනුවත් බවක් ලබාගත යුතුය. විවාහ වූ වහාම දරුවකු ලබාගැනීමට අපේක්ෂා කරනවා නම් ඒ සඳහා දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය සුදුසු මට්ටමක තිබෙනවා ද යන්න මෙහිදී දැනගත හැකිය.

පූර්ව ප්‍රසව වෛද්‍ය උපදේශනය ලෙස හඳුන්වන්නේ මෙයයි. මෙය ඉතා වැදගත් වන්නේ එසේ නොමැතිව විවාහ වූ වහාම දෙදෙනා බලාපොරොත්තු නොවූ අවස්ථාවක සිදුවන හදිසි පිළිසිඳගැනීමක් හේතුවෙන් ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවිය හැකි නිසාය. උදාහරණයක් ලෙස කිසියම් කාන්තාවක් ගැබ් ගැනීමට නුසුදුසු රෝගී තත්ත්වයකින් පෙළෙනවා නම් ඒ බව නොදැන ඇය ගැබ්ගතහොත් එය දරු ගැබට මෙන්ම මවගේ ජීවිතයට ද තර්ජනයක් විය හැකිය. එවැනි අවස්ථාවක දරු ගැබ විනාශ කිරීමට පවා පෙළඹිය හැකිය. එයින් තවත් ප්‍රශ්න රැසක් උද්ගත විය හැකිය. එම නිසා එවැනි අවදානමකට ලක්නොවීම සඳහා අප මුලින් කී පූර්ව ප්‍රසව වෛද්‍ය උපදේශනයට ගැබ් ගැනීමට පෙර සැමියා සහ බිරිය යන දෙදෙනාම සහභාගි වීම ඉතා වැදගත් වේ. එහිදී දෙදෙනා තුළ හෝ එක් අයෙකු තුළ හෝ දරු සම්පතක් ලබාගැනීමට බාධා කරන කරුණු තිබේ නම් කල්තියා ඒවා හඳුනාගෙන අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ලබාගැනීමෙන් නිරෝගී දරු සම්පතක් ලබාගැනීමට සූදානම් විය හැකිය. එම නිසා පූර්ව ප්‍රසව වෛද්‍ය උපදේශනය හිතාමතා මඟ හැරීම නොකළ යුතුය.

අවශ්‍ය කාලය

ඉහත කී ආකාරයට මවක් වීම සඳහා පළමුව ශාරිරික වශයෙන් සූදානම් වීම මෙන්ම තමන්ගේ ලෝකයට අලූතින් එකතු වන දරුවා පිළිගැනීම සඳහා මව සහ පියා තුළ වන මානසික තත්ත්වය ද ඉතා වැදගත් ය. විවාහයට පෙර සිටම දරු සම්පත් සැලසුම් කළ යුත්තේ ඒ නිසාය. අලූත විවාහ වූ යුවළක් තුළ බලාපොරොත්තු රැසක් තිබිය හැකිය. ඇතැම් විට රැකියාවේ උසස් වීම්, විදේශ ගතවීම්, වැඩිදුර අධ්‍යාපන කටයුතු ආදිය ඒ අතර වේ. එහිදී කලින් සැලසුම් නොකර හදිසි අවස්ථාවක දරු පිළිසිඳගැනීමක් සිදුවුවහොත් ඒ හේතුව නිසා මවගේ සහ පියාගේ ඉහත කී සැලසුම් සියල්ල වෙනස් කිරීමට සිදුවේ. එවැනි අවස්ථාවකදී මව විශේෂයෙන් දැඩි මානසික ආතතියකට ලක්විය හැකිය. එය දරු ගැබට හානිකර වේ. මවගේ මානසික නිරවුල් බව කුස තුළ සිටින දරුවාගේ වර්ධනයට ඉතා වැදගත් වන නිසා තමන්ට දරුවකු අවශ්‍ය වන කාලය විවාහයට පෙර සිටම තීරණය කරගෙන විවාහ වීම වඩා උචිතය. එවිට අනවශ්‍ය පිළිසිඳ ගැනීම්වලින් වැළකී තමන්ට අවශ්‍ය කාලයේදී දරුවකු ලබාගත හැකිය.

සිරුරේ හැඩය

විවාහ උත්සවයට සූදානම් වන කාලයේදී යුවතියක තමන්ගේ සිරුර ගැන කොයිතරම් උනන්දු වනවාද? මංගල දිනයේ සුන්දර මනාලියක් වීම සඳහා තමන්ගේ සිරුරේ හැඩය රැක ගැනීමට කෙතරම් කැපකිරීම් කරනවාද? එහෙත් ඒ සැලකිල්ල තමා මවක් වන විටත් අවශ්‍ය බව දන්නේ කීයෙන් කී දෙනාද ? එසේ කියන්නේ මේ වන විට කාන්තාවන්ගේ අධි පෝෂණය හෙවත් අධික ස්ථුලතාවය විශාල ප්‍රශ්නයක් බවට පත්වී තිබෙන නිසාය. වසර දහයකට පෙර පෝෂණය සම්බන්ධයෙන් අපේ රටේ තිබූ මූලික ප්‍රශ්නය වූ මන්දපෝෂණය වෙනුවට මේ වන විට අධි පෝෂණය වතුකරයේ හැර අනෙක් ප්‍රදේශවල ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වී තිබේ. එය ප්‍රශ්නයක් වන්නේ අධි පෝෂණය හෙවත් අධික ස්ථුලතාවයෙන් යුතු කාන්තාවන් ගැබ්ගත් විට ඇගේ දරු ගැබ ගබ්සා වීමට වැඩි ඉඩක් තිබෙන නිසාය. එමෙන්ම මවගේ ස්ථුලතාව සමග එන දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන් නිසා දරුවාට සංජානීය ආබාධ ඇතිවීමේ අවදානම ද වැඩිවේ. එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා දරුවකු අපේක්ෂා කිරීමට පෙර තමන්ගේ සිරුරේ උසට ගැලපෙන බර පවත්වාගෙන යාමට හැම කාන්තාවක්ම සැලකිලිමත් විය යුතුය.

අධි පෝෂණය

වර්තමානයේ බොහෝ යුවතියන් මුහුණ දෙන අධික තරබාරු සිරුරේ ප්‍රශ්නයට මුල ඔවුන් කුඩා කල සිට පුරුදු වූ වැරදි ආහාර පුරුදු බව නොකියාම බැහැ. දරුවන් කුඩාකළ බොහෝ විට මව්වරු ප්‍රිය කරන්නේ තමන්ගේ දරුවා‘‘බෝල ගෙඩියක් ‘‘ මෙන් තරබාරුව සිටිනු දැකීමටයි. සිරුර පිරිපුන් වූ විට දරුවා නිරෝගී බවට ඇතැම් මව්වරු තුළ වැරදි අදහසක් තිබේ. එම නිසාම කුඩා කළ සිට දරුවාට වැඩි ආහාර ප්‍රමාණයක් කැවීමට මව්වරු නිතරම උත්සාහ කරති. එමෙන්ම රූපවාහිනි නරඹමින් දරුවාට කැවීම මව්වරු විසින් කරනු ලබන තවත් වරදකි. එයින් දරුවාට තමා කන කෑම ප්‍රමාණය ගැන අදහසක් නැත. දරුවාගේ අසීමිත කෑම අවසානයේ ඔහු ස්ථුලතාවයට පත්කරයි. පිටි සහ තෙල් සහිත ආහාර සහ ක්ෂණික ආහාරපාන ගැනීම ද අධි පෝෂණයට හේතුවකි. විශේෂයෙන් ගැහැණු දරුවන් සිටින මව්වරු දරුවන් කුඩාකළ සිට ඔවුන්ගේ පෝෂණය ගැන විශේෂයෙන් උනන්දු විය යුතුය. නිතරම තම දරුවන්ට සමබල ආහාර වේලක් ලබාදිය යුතුය. කෑමෙන් පසු අතුරුපසට පලතුරක් ද එක්කර ගන්න.

තරබාරු බවට අත වනන තවත් අයහපත් ආහාර පුරුද්දක් වන්නේ අවබෝධයකින් තොරව සිදු කරන කෑම පාලනයයි. ඇතැම් තරබාරු කාන්තාවෝ තමාගේ සිරුරේ බර අඩුකර ගැනීමට උදෑසන ආහාරවේල මඟ හරිති. එසේ කුසගින්නේ සිට ඊළඟ ආහාරවේල විශාල ප්‍රමාණයකින් ගනිති. එය කිසිසේත් සාර්ථක ආහාර පාලනයක් නොවේ. තෙල් සහ පිටි ආහාර ගැනීම අඩුකොට ධාන්‍ය සහ පළා වර්ග වැඩිපුර ආහාරයට ගත යුතුය. පැණි බීම වර්ග වෙනුවට පිරිසිදු ජලය ප්‍රමාණවත් පරිදි පානය කිරීම මෙන්ම දිනකට විනාඩි 30ක්වත් ව්‍යායාම කිරීමට ද අමතක නොකළ යුතුය.

සටහන - [සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

Friday, November 29, 2019

කොලිවුඩයේ තරුව ධනුශ්


ධනුෂ් කියන්නේ කැත මනුස්සයෙක්. කාගෙවත් රූපයක් ගැන ඒ වගේ විනිශ්චයක් දෙන එක මානුෂීය නැති බව ඇත්ත. නමුත් සංසන්දනාත්මකව බලන රූපය වගේ සාධකයකදී ධනූෂ් ව ඒ විදිහට හඳුන්වන්න මං කැමතියි. ඔව්, ධනූෂ් කියන්නේ කැත මනුස්සයෙක්. ධනූෂ්ට ආරෝහ පරිණාහ දේහයක් නෑ. හිටගත්තම දුම්කොළ කෑල්ලක් වගේ. බිත්තියට හේත්තු වුණාම හනස්සක් වගේ. හැබැයි ඒ කැත ම තමයි ධනූෂ්ගේ ලස්සනම සාධකය.

ඕනෑම ආකාරයක රූගත කිරීමක් නරඹන්න අපි හැමෝම වගේ කැමතියි. අදටත් ගමනක් යන අතරමඟ පයින් ගියත්, වාහනේක ගියත්, set එකක් පහු වෙද්දී ටිකක් නැවතිලා slow කරලා ඒ දිහා බලන්න මිනිස්සු යොමු වෙනවා. සමහරු තමන්ගේ තත්ත්වය නඩත්තු කරන්න ටිකක් හොරෙන් වගේ බලලා යන ගතියකුත් තියෙනවා. ඉන්දියාව වගේ රටක නම් ගෙවල් ළඟ shooting කියන්නේ නිවාඩු දාලා දවසම location එක ළඟ ගැවසෙන තරමේ හේතුවක්.

ධනූෂ් රඟන තැන් වල ශූටින් බලන්න රැස් වෙන ජනකාය අහනවා කෝ නළුවා කියලා. තාක්ෂණික කාර්ය මණ්ඩලය පෙන්වනවා මේ කෙසඟ තරුණයාව. ජනකාය මදි නොකියන්න උසුළු විසුළු කරනවා, නාට්ටාමි කෙනෙකුටත් අන්ත මේ පරඬැල දාලා ෆිල්ම් හදන්න පිස්සු ද කියලා. ඒත් කලක් යද්දී මිනිසුන්ටම තේරෙනවා කවරෙන් පොත මනින්න බෑ කියලා.

ඉන්දියාවෙන් මුලින්ම YouTube එකේ මිලියන 100ක views ප්‍රමාණය ඉක්මවූ වීඩියෝව නිකුත් වුණේ ධනූෂ්ගෙන්. ඒ තමයි "කොලවෙරි" ගීතය. එංගලන්තයේ BBC රේඩියෝවේ සිට පිටකොටුවේ ගුණසිංහපුර බස් ස්ටෑන්ඩ් එක දක්වා ලොව පුරා සෑම තැනකම මේ විකාරරූපී ගීතය වාදනය වෙනවා. මිනිස්සු සවන් දෙනවා. බැඳෙනවා. Viral වෙනවා. ගීතය ගැනත් එය ගයන කෙසඟ මිනිසා ගැනත් උනන්දු වෙනවා. මේ වසරේ ලෝකයම හොල්ලපු කොලිවුඩ් hit එක Rowdy Baby. Kolaveri ඉඳලා Rowdy Baby දක්වා එද්දී ධනූෂ්ගේ පරිණත වීම හොඳින්ම බලන්න පුළුවන්.

මට නම් ධනූෂ්ගේ hero factor එක ලොකුවටම දැනුණේ 'Maari' films දෙකෙන් වගේම 'Velai Illa Pattadhari' films දෙකෙන්. අනිත් ඒවා වැඩක් නෑ කියනවා නෙවෙයි, නමුත් මට ඒ films හතරම ඇඟට දැනුණා.

ක්ෂේත්‍රයට අඩිය තිබ්බ මුල කාලේ හැමෝම ධනූෂ්ට හිනා වෙනවා, කොලිවුඩයේ අනාගතය අනාථයි කියලා. ඒත් අද, ධනූෂ්ගේ නම සිනමා තිරයේ අවතීර්ණ වෙනකොට මිනිස්සු ඇති පදමට හුරේ දානවා. ඒ ඇයි? ක්‍රියාවෙන් තමන් නළුවෙක් කියන දේ ඔප්පු කළ නිසා. රංගන ශිල්පියෙක් කියන්නේ රංගනය රැකියාව කරගත් පුද්ගලයා. ඒත් හැමෝම රංගන ශිල්පියෝ නෙවෙයි. රඟපානවා කියන එක දැනෙන්නේ නැත්නම්, ඒක තමයි real රඟපෑම. ධනූෂ් දන්නවා අපේ හදවතට address කරන්න දෙන්න ඕන real feeling එක.

ධනූෂ් කියන්නේ මම ගොඩක් ආදරය කරන වැඩ්ඩෙක්.
වැඩ්ඩෙක් නෙවෙයි නම් තමිල් නාඩුවේ සිනමා රජා තමන්ගේ දුවව මේ පරඬැලට බන්දලා දෙයි ද?

Saturday, November 16, 2019

~ දිව්‍ය ලෝකෙ සැපයි. ඒත්? ~

අවිද්‍යාව පැත්තට ලෝකය බර වෙන්නට බර වෙන්නට ලෝකයා බර වෙන්නේ තන්හාව දෙසටයි. අවිද්‍යාවේ දරුවා තමයි තන්හාව. අවිද්‍යාවේ බර නිසා තන්හාවේ ගොඩ සැප ලෙසයි සත්වයා දකින්නේ. ඒ නිසා සත්වයා නිරතුරුවම පිංකම් කරමින් ප්‍රාර්ථනා කරන්නේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක සැපමයි. මොකද සැපයට ඇති තන්හාව නිසා අවිද්‍යාව විසින් ඔබව නිරතුරුවම දැනුවත් කරනවා, ලෝකය තුළ සැප තිබෙනවා කියලා. ඔබව ඉදිරියට පදවනවා සැප ස්‌පර්ශ කරන්න.

මනුෂ්‍ය ලෝකයේ සැප ගැන ඔබට අත්දැකීම් තිබෙනවානේ. දුක්‌ කන්දක්‌ විසිතුරු දවටනයක ඔතා, විසිතුරු ඇඳුම් ආයිත්තම්, සුවඳ විලවුන්, යාන වාහන, ගෙවල් දොරවල්, පවා දරුවන් සමඟ සැපයෑයි සිනාසෙමින් කරගසාගෙන යන මනුෂ්‍ය ලෝකයේ සැප, ඔබ අත්දකිනවා බොහොම කැමැත්තෙන්.

මේ කියන්න යන්නේ දිව්‍ය ලෝක සැප ගැනයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක දුප්පත් මනුෂ්‍යයෙක්‌ සිටිනවා, ඔහුට තිබෙන්නේ දිරාගිය පැල්පතක්‌. එහි වහළයෙන් අහස පෙනෙනවා. බිරිඳ හරියට දර ඉපලක්‌ වගේ. අහේනිය නිසාම විරූපි වෙලා. ධාන්‍ය මල්ලේ අඩියේ ධාන්‍ය ටිකක්‌ තිබෙනවා. මේ මනුෂ්‍යයාට තිබෙන්නේ ඔය ටික පමණයි. මේ මනුෂ්‍යයාට පැවිදිවෙන්න සිතක්‌ ආවත්, මේ දිරාගිය පැලත්, විරූපී බිරිඳත්, හිස්‌ ධාන්‍ය මල්ලත් අතහැරීමට ඔහුට නොහැකිය කියලා. බලන්නකෝ තන්හාවේ ස්‌වභාවය.

අනවබෝධය නිසාම, කෑදර සිත් ඇතිව පිළුණු වී යන ආහාර බුදින, දෙතිස්‌ කුණපයකින් යුතු කයක්‌ දරන, දූවිලි අවු වැසි වලින් පීඩා විඳිමින් සැප සොයන අපි, ආහාර නිදි විවේකය නොලබා සැප සොයන අපි, සිතූ සිතූ සම්පත් පහළවන දිව්‍ය ලෝකයට ගියහොත් කුමකින් කුමක්‌ වෙයිද?

දිව්‍ය ලෝකය කියන්නේ කාම පුරයක්‌. එහිදී සිතූ සිතූ සම්පත් ඔබට ලැබෙනවා. ඒ සියල්ල ඔබට ලැබෙන්නේ දිව්‍ය ඕජාව වශයෙන්. ඔබ කළ පිං වල ප්‍රමාණයට ඔබ ඉපදෙන දිව්‍ය තල වල පංති භේදයක්‌, පංති පරතරයක්‌ තිබෙනවා. මේ භේදය නිසා දෙවියනුත් ගැටෙමින් අකුසල් කරගන්නවා. අතීතයේ කළ කුසල් අනුව තමයි ඔබට සැප ලැබෙන්නේ. ඔබ මෙහෙම හිතන්න. මනුෂ්‍යයෙක්‌ ඉන්නවා… ඔහු දුප්පත්, උදේ සිට රාත්‍රිය වනතුරු ඔහු කුලී වැඩක්‌ කරලා කීයක්‌ හරි සොයාගෙන ගොස්‌ බතුයි පරිප්පුයි කාලා ජීවත්වෙනවා. තව මනුෂ්‍යයෙක්‌ ඉන්නවා, ඔහු හොඳ රජයේ රැකියාවක්‌ කරලා හොඳ වැටුපක්‌ අරගෙන අරකෙනාට වඩා හොඳ ජීවිතයක්‌ ගතකරනවා. තව මනුෂ්‍යයෙක්‌ ඉන්නවා ඔහු කෝටිපතියෙක්‌. ඔහු තරුපහේ හෝටලයකට ගොස්‌ අවන්හලේ වාඩිවී වේටර්වරයෙක්‌ පිළිගන්වන ආහාර වට්‌ටෝරුවට ඇඟිල්ල තබනවා. මොහොතකින් ලෝකයේ රසවත්ම ආහාර වේලක්‌ ඔහුගේ මේසයට එනවා. බලන්න මේ තුන්දෙනාම මනුෂ්‍ය ලෝකයේ ඉපැදුණ මනුෂ්‍යයෝ. නමුත් සංසාරයේ කළ කුසල් අකුසල් නිසා සැප ලැබීමේ පරතරයක්‌, සීමාවක්‌ තිබෙනවා. මිනිසුන් දස දෙනෙක්‌ ගතහොත් එම දසදෙනාට ලැබීමේ ස්‌වභාවයන් දස ආකාරයක්‌ වෙනවා. දිව්‍ය ලෝකයෙත් මේ වගේමයි. අර කෝටිපති ව්‍යාපාරිකයා ආහාර වට්‌ටෝරුවේ ඇති තමා කැමැති ආහාර වර්ගයට ඇඟිල්ල තැබූ සැනින් තමන් කැමතිම ආහාරය ලැබෙනවා වගේ දෙවියන්ට යම් සැපක්‌ අවශ්‍ය යෑයි සිතූ සැනින් එම සැපයෙන් දෙවියාව තෘප්තිමත් වෙනවා.

සුපිරි වෙළඳසලකට ගොස්‌ කෙනෙක්‌ රුපියල් දෙසීයක්‌ ගෙවලා අයිස්‌ක්‍රීම් එකක්‌ කනවා. තව දුප්පත් අයෙක්‌ ගමේ කඩේට ගිහින් රුපියල් දහයේ අයිස්‌පලම් එකක්‌ කනවා. දෙදෙනාම මනුෂ්‍යයෝ. දෙදෙනාම කන්නෙත් අයිස්‌ ක්‍රීම්. නමුත් දෙදෙනා ලබනා රසයේ ස්‌වභාවයන් වෙනස්‌. ඒ දෙදෙනාගේ ලැබීමේ විවිධත්වයයි. පිංකර ඇති ස්‌වභාවයන්ට අනුව දෙවියන් දිව්‍ය ඕජාවෙන් තෘප්තිමත් වෙනවා. දෙවියන්ට තිබෙන්නේ ඕලාරික කයක්‌. එම ඕලාරික කය ඝන භාවයට පත්කරගැනීමට දිව්‍ය ලෝකවල දෙවියන්ට පුළුවන් වගේම, සමාධියෙන් පරිපූර්ණ, ප්‍රඥාව වඩන භික්‍ෂුවටද ඕලාරික භාවයෙන් මුදවා ඝන ස්‌වභාවයෙන් දෙවියන් දර්ශනය වෙයි. ඕලාරික කයක්‌ තිබුණද දෙවියන්ට ආයතන හයක්‌ (සලායතන) මනුෂ්‍යයාට සේම ඕලාරික කය ඇසුරුකොටගෙන පිහිටා ඇත. එහෙයින් මනුෂ්‍යයාට සේම නිරතුරුවම ඇතිවෙමින් නැතිවෙන සිත් දෙවියාටද හටගනී. කාම ලෝකයක සැප විහරණය කරන දෙවියාද සතර මහා ධාතූන්ගෙන් නිර්මානය වූ, අනිත්‍ය ඕලාරික කයක්‌ද, නිරතුරුවම ඇතිවෙමින් නැතිවී යන සිතක්‌ද ඇති සත්වයෙකි. දෙවියන් තුළද සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැත්තේය. දෙවියන් සැප විඳිනවා යනු, ක්‍රියාත්මක වෙනවා යනු ස්‌පර්ශය නිසා ඇතිවන වේදනාවක්‌ පමණක්‌මය. මනුෂ්‍යයින් වශයෙන් මහා පිංකම් කරමින් ඔබ යන්නට ප්‍රාර්ථනා කරනා සුරපුරය ඔතැනය. දිව්‍ය ලෝක වල දිව්‍ය සැපය ලැබෙන්නේ දිව්‍ය ඕජාව ලෙසින්ය. දිව්‍ය ඕජාව යනු සුන්දර අත්දැකීමකි. දෙවියන් මෙම දිව්‍ය ඕජාව අතහැරීම උපරිමයෙන් පූර්ණ කළ භික්‍ෂුවටද, නිවන් අවබෝධය ලබාගත් භික්‍ෂුවටද අත්‍යවශ්‍යම අවස්‌ථාවලදී ලබාදෙයි.

ඔබ මෙහෙම සිතන්න. භික්‍ෂුවක්‌ හුදෙකලා වනයේ කුටියක වැඩ සිටින විට ආහාර මද බව නිසා ලේ වල සීනි අඩුවී අසනීප වෙනවා. මෙය සිදුවන්නේ රාත්‍රියේදී. භික්‍ෂුව දැඩි වේදනාවට පත්වෙනවා. කුටිය තුළ ගිලන්පසක්‌ සාදා ගැනීමට සීනි තේකොලවත් නැහැ. අත්හැරීමේ උපරිමය නිසා. භික්‍ෂුව මොකද කරන්නේ. රිදුම් දෙන, කලන්තයෙන් අප්‍රාණික වන කයත් සිතත් මගේ නොවෙයි. මට අයත් දෙයක්‌ නොවේ කියලා අතහරිනවා. ලෝකයේ ශ්‍රේෂ්ඨම අතහැරීම ප්‍රතිපදාවේ යෙදෙන භික්‍ෂුවක්‌ සිත කය අතහරින මොහොතේ ලෝකය කම්පා වෙනවා. ලෝකය නිරුද්ධ වෙනවා. එය දිව්‍ය ලෝක වලට දැනෙනවා. දෙවියන් සොයනවා මොකක්‌ද වුණේ කියලා. දෙවියන් දකිනවා අසවල් තැන වැඩසිටින භික්‍ෂුවගේ අතහැරීමයි මේ දැනුනේ කියලා. ඒ මොහොතේම දිව්‍ය ඕජාව දෙවියන් එම භික්‍ෂුවට සමාධිය තුළින් ලබාදෙනවා. දිව්‍ය ඕජාව භික්‍ෂුව විඳින්නේ මනසින්. සීනි අවශ්‍ය නම් භික්‍ෂුවගේ දෝතට රන්වන් පාට සීනි අහුරක්‌ ලැබෙනවා. අත රන් වගේ දිලිසෙන භික්‍ෂුව මනසින් එය විඳිනවා. වළඳනවා. පියෙවි සිහියෙන් අවධියේදී නොවෙයි මෙය වෙන්නේ. සමාධිගත නින්දේදියි. භික්‍ෂුව පැය කිහිපයකින් අවධිවන්නේ ශරීරයේ තිබූ රෝගී බව දුරුවී පූර්ණ සුවය ලැබීමෙන්. මොකද ශරීරයට අවශ්‍යව තිබූ සීනි ප්‍රමාණය දිව්‍ය ඕජාව වශයෙන් භික්‍ෂුවගේ ශරීරයට ලැබුණු නිසා. හැබැයි දෙවියන් ඕජාව දෙන්නේ සිත කය අතහැරියොත් පමණයි කියලයි භික්‍ෂුව සිතන්නේ. ප්‍රඥාව හොඳින් වැඩීමෙන් පමණයි, අවංකවම කය, සිත අතහැරිය හැක්‌කේ. එහෙම වුණොත් තමයි එම කම්පනය දිව්‍ය ලෝකයට දැනෙන්නේ.

දිව්‍ය ලෝකයේ නිරතුරුවම සඡ්ජායනා කරන හඬ, විටෙක පිරිත් හඬේ ස්‌වභාවයෙන්ද තවත් වේලාවන්ට කෝවිල් වල පූජාව තබනකොට ශබ්ද පූජාවේදී ලොකු නලාවකින් නැගෙන හඬේ ස්‌වභාවයෙන්ද ඇසෙනවා. වනයෙ හුදෙකලා කුටි වලදී මෙම හඬ රාත්‍රී යාමයේදී හොඳින් ඇසිය හැකිය. මුහුද ගංගා දිය ඇලි අසල අපි වාඩිවී සිටියදී මොනතරම් මිහිරි රිද්මයන් අපට ඇසෙනවාද. කැලයක රාත්‍රියට සුළඟ ඇති වෙලාවට අපූරු සංගීතයන් මැවෙනවා. මේවා කවුරුවත් කරන, වයන දේවල් නොවේ. පස්‌සය නිසා ඇතිවන වේදනාවන්. කාම ලෝකයක්‌ වුවද පිනැති දෙවියන් ජීවත්වන නිසා එම පිං මහිමය නිසාම මෙවැනි සඡ්ජායනා, සංගීත රිද්ම ස්‌වභාවයන් දිව්‍යතලවල රැව්දෙනවා. අර ගඟේ මුහුදේ දිය ඇල්ලේ රිද්මය වගේ. පිනේ ආශ්චර්යය නිසාම දෙවියන් ආස කරන හඬ රිද්මය, ඒ මොහොතේම ඇතිවෙලා දෙවියන් තෘප්තිමත් වෙනවා. දැන් ඔබ සිතන්නකෝ මෙවැනි කාම ලෝකයක ඔබ උපත ලැබුවොත් මෙම කාමයෙන් ඔබට අත්මිදෙන්න පුළුවන් වෙයිද?

ඔබ මනුෂ්‍ය ලෝකයේ පිංකම් කර ලැබූ දිව්‍ය කාම සම්පත නිසාම පිරිහීමට පත්වී නැවත සතර අපායට වැටීමේ ඉඩකඩ ඉතාමත් වැඩිය. දිව්‍ය ලෝකවල බුද්ධ රත්නයද, සංඝ රත්නයද වැඩ සිටින්නේ නැත. නමුත් ධර්මරත්නය වැඩ සිටියි. එහෙත් ධර්මය මතුකර පෙන්වීමට බුද්ධ රත්නයද, සංඝ රත්නයද වැඩ නොසිටින නිසා දෙවියෝ අනාථයෝය. එහෙත් දෙවියන් දක්‍ෂ නම් සංඝ රත්නය වැඩසිටින මනුෂ්‍ය ලෝකයට පැමිණ සද්ධර්මය ශ්‍රවණය කර අවබෝධය ලැබිය හැකිය.

භික්‍ෂුවක්‌ කැලයේ හුදෙකලා කුටියක වැඩ සිටින විට රාත්‍රියේ පැමිණි දිව්‍යාංගනාවක්‌ ගැන ඔබට කියන්නම්. එක්‌ රාත්‍රියක භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවන විට දිව්‍යාංගනාවක්‌ දර්ශනය විය. ඇය සිටියේ පාවෙමින්ය. වැඩි ඉහළක නොවේ. ඇයගේ ස්‌වභාවය අති සුන්දරය. ඇය සිහින්ය. දිගැටිය. දිග කේශ කලාපයකින් යුක්‌තය. එය පාදාන්තය දක්‌වා දිගය. ඇය ප්‍රභාශ්වර සුදු පැහැතිය. පැහැදිලි සුදු වලාකුළක පාටය. ඇයගේ සියුම් ඝන කය ප්‍රභාෂ්වර සුදු පැහැයෙන් යුක්‌ත විය. හරියට ශරීරයට හිරවෙන සුදු දිග ගවුමක්‌ ඇඳසිටියා සේය. ඇයගේ ශරීරයේ දෙපා ප්‍රදේශය සිහින් වී ගොස්‌ තිබිණි. ඇය භික්‍ෂුව ඉදිරියේ තරමක ඉහළින් සරුංගලයක්‌ පාවෙනවා සේ පාවෙමින් සිටියාය. මෙවැනි රූප දර්ශනය වීමේදී භික්‍ෂුවගේ ස්‌වභාවය මේ ආකාරයට පිං දීමය. “මෙම භික්‍ෂුවගෙන් ඔබට යම් කුසලයක්‌, පිනක්‌ ගතහැකි නම් එය භික්‍ෂුවගේ යෑයි නොසිතා ඔබේ යෑයි සිතා ඔබ අනුමෝදන් වී සුවපත් වෙන්න” භික්‍ෂුව මෙසේ සිතූවිට ඇය නැතිව ගියා.

දෙවැනි දවසේ රාත්‍රියේත් ඇය පෙර දින සේම දර්ශනය වුණා පෙරදින සිටි ස්‌වරූපයෙන්ම. එදාද භික්‍ෂුව පෙරසේම පිං දුන්නා. ඇය නැවතත් නොපෙනී ගියා. මැය මෙසේ දර්ශනය වුවද භික්‍ෂුවට ඇය ගැන කුතුහලයක්‌, ඇය දැකීමේ කැමැත්තක්‌ නොතිබිණි. ඇය ගැන මතකයද, අවධානයක්‌ද නොතිබිණි. නොසිතූ මොහොතක ඇය දර්ශනය වනවා පමණි. මේ වන විට භික්‍ෂුව සිටියේ දිව්‍ය ලෝක සංඥාවලින් මිදීය. දිව්‍ය ලෝකයත්, එහි ජීවත්වන දෙවියනුත් අසූචිගොඩක්‌ මත ජීවත්වන පණුකැළක්‌ ලෙස භික්‍ෂුව අවබෝධයෙන් දැනසිටියේය. එනිසා දිව්‍යාංගනාව භික්‍ෂුවට තවත් අනිත්‍යභාවයට පත්වන රූපයක්‌ පමණක්‌ විය. මෙසේ පසුවෙද්දී තුන්වැනි දින රාත්‍රියේ ඇය පෙරසේම දර්ශනය විය. තුන්වැනි දිනයේදී භික්‍ෂුව ඇයට පෙරසේම පිං දුන්නේය. ඇය නොපෙනී ගියාය. ඇය පැමිණි විට විනාඩි දහයක පමණ කාලයක්‌ භික්‍ෂුව ඉදිරියේ පාවෙමින් සිටින්නීය. හතරවැනි දිනයේදී ඇය පෙර ස්‌වභාවයෙන්ම භික්‍ෂුවට දර්ශනය විය. භික්‍ෂුව දැන් ඇය ගැන අවබෝධය ලබා අවසන්ය. ඇයට දින තුනක්‌ පිං දුන්නද ඇයට පිං අනුමෝදන් වූයේ නැත. ඇයට භික්‍ෂුව දුන් පිං අනුමෝදන් වූවානම් පළවෙනි දිනයට වඩා දෙවැනි දිනයේදී ප්‍රභාශ්වර විය යුතුය. ඇයගේ දිව්‍යශ්‍රීය ධනාත්මක බවක්‌ විද්‍යාමාන විය යුතුය. එහෙත් එය එසේ නොවිණ. ඇය මුල් දිනයේ දර්ශනය වූ ස්‌වරූපයෙන්ම හතරවැනි දිනයේදීද දර්ශනය විය. මෙයින් පැහැදිලිවන්නේ ඇයට පිං අනුමෝදන් නොවූ බවයි. මෙම දිව්‍යාංගනාව අනුන්ගේ පිං අවශ්‍ය නැති, පිනෙන් පිරුණු සශ්‍රීක දිව්‍ය ලෝකයේ වැඩ වසන දිව්‍යාංගනාවක්‌ බවයි. ඇයට භික්‍ෂුව දුන් පිං අවශ්‍ය නැත. ඇයට අවශ්‍ය භික්‍ෂුව දකිමින් සතුටු වීමටය. නැතහොත් භික්‍ෂුවට ගරු කිරීමට, නමස්‌කාර කිරීමටද විය හැකිය. මේ දෙකින් කුමක්‌ සඳහාද යන්න භික්‍ෂුවට ඇයගේ ඉරියව් වලින් දැනගත නොහැකි විය. ඇය සතුටින් ප්‍රමෝදයෙන් සිටින බව පමණක්‌ භික්‍ෂුව හඳුනාගත්තේය. හතරවැනි දිනයේදී භික්‍ෂුව ඇයට මෙසේ අවවාද කළේය. “ඔබ මොකක්‌ද මේ කරන්නේ. ඔබ විහිළුවක්‌ කරනවාද? ඔබ කව්ද? සමහර විට ඔබ භික්‍ෂුවගේ මිය ගිය මවුද දන්නේ නැහැ. වෙන දිව්‍යාංගනාවක්‌ද දන්නෙත් නැහැ. මේ භික්‍ෂුව හෙට අපවත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබට භික්‍ෂුව දැකලා සතුටුවෙන්න පුළුවන් කමක්‌ නැහැ. ඔබට පිං අවශ්‍ය වුවද දෙන්න කෙනෙකුත් නැහැ. ඔබ ඔය දිව්‍ය සැප අවසන් වුණාම අසරණ වේවි. නැවත සතර අපායට වැටේවි. එදාට ඔබව බේරාගන්න කවුරුවත් නැහැ. ඒ නිසා ඔබ මේ පිං අනුමෝදන් වෙලා සැපවත් වෙන්න. සතර අපායෙන් මිදෙන්න. මේ භික්‍ෂුව සේම අනිත්‍ය වඩන්න” කියලා භික්‍ෂුව අනුමෝදනාවක්‌ කළා. මෙසේ අවවාද කළ ද ඇය පස්‌වැනි දිනයේ රාත්‍රියේද පෙර ස්‌වභාවයෙන්ම භික්‍ෂුව ඉදිරියේ පාවෙමින් සිටියාය. ඇයට පිං අනවශ්‍ය බව දැන් ස්‌ථිරය. ඇයට දිය යුත්තේ පිං නොව, ප්‍රඥාව වැඩීමට සංඥාවක්‌ බව භික්‍ෂුවට අවබෝධ විය. මන්ද අනුන්ගේ පිං අනවශ්‍ය, මහා පිනැති දිව්‍යාංගනාවක්‌ නිසාය. ඇය සසර ප්‍රඥාව වඩා ඇත. එහෙත් දිව්‍ය ලෝකයේ කාම සම්පත් මැද කෙළිලොල් දිවියක්‌ ගතකරන නිසා ප්‍රඥාව යටපත්වී සැඟවී ගොස්‌ තිබේ. භික්‍ෂුව දිව්‍යාංගනාවගේ සැඟවී තිබූ ප්‍රඥාව මතුකර දීමට ඇයව මෙසේ දැනුවත් කළේය.

“පුතේ ඔබට මේ භික්‍ෂුව කථාකරන අවසාන අවස්‌ථාව. ඔබට දෙන අවසාන අවවාදය. දින හතරක්‌ම භික්‍ෂුව ඔබට පිං දුන්නා. ඔබ ඒවා අනුමෝදන් වූයේ නැහැ. ඔබ භාග්‍යවන්තියක්‌. ඔබ මේ භික්‍ෂුව දෙස හොඳින් බලන්න. භික්‍ෂුව පරිහරණය කරන තුන් සිවුර දෙස හොඳින් බලන්න. එක වේලෙන් පමණක්‌ පිණ්‌ඩපාතයෙන් යෑපෙන මේ පාත්‍රය දෙස හොඳින් බලන්න. මේ සයනය, මේ කුටිය දෙස බලන්න. භික්‍ෂුවගේ ප්‍රතිපදාව දෙස බලන්න. භික්‍ෂුවගේ අතහැරීම දෙස බලන්න. මේ භික්‍ෂුව අනිත්‍ය වඩන්නේ යම් සේද ඔබද ඔය දිව්‍ය සැප, දිව්‍ය ඕජාව, දිව්‍ය ශරීරය, ඔය රූපය අනිත්‍ය බව දකින්න. ඔය ඇස, කන, නාසය, දිව, ඕලාරික ශරීරය, සිත අනිත්‍ය බව දකින්න. කවදාහරි දිනයක ඔය දිව්‍ය සැප අනිත්‍යභාවයට පත්වී ඔබ දිව්‍ය ලෝකයෙන් චුතවේවි. දිව්‍ය සැප අහිමි වන බව දැකලා ඔබ එදාට හඬාවැටේවී. ඔබ ඔය සැපෙන් මිදිලා සතර අපායට වැටේවී. පුතේ ඔබ ඔය විඳින සිත ඔබේ නොවෙයි කියලා අතහරින්න. ඔය ස්‌වර්ණහංසියක්‌ බඳු කය ඔබට අයිති නැති අනිත්‍යයට අයත් දෙයක්‌ යෑයි කියලා අතහරින්න. සියල්ල අනිත්‍ය බව දකින්න. මේ භික්‍ෂුව ඔබව දකින අනිත්‍ය සංඥාවෙන්ම ඔබ භික්‍ෂුව දෙස බලන්න. මේ භික්‍ෂුවද මැරෙන, ලෙඩ වෙන, වයසට යන ස්‌වභාවයෙන් යුක්‌ත බව දකින්න. මේ භික්‍ෂුව දෙස නැවැත නැවත බලන්න. ඔබ අවබෝධය ලබන්න. ධර්මය දැක්‌ක කෙනෙක්‌ වෙන්න. ඔබ සෝවාන් ඵලයට පත්වෙන්න. දිව්‍ය ලෝකයෙන්, සතර අපායෙන් මිදෙන්න. බ්‍රහ්ම ලෝකයට ගොස්‌ කල්ප ගණනක්‌ වුවද ගතකරන්න. ඒකට ප්‍රශ්නයක්‌ නැහැ. මොකද කවදාවත් ඔබ නැවත සතර අපායට වැටෙන්නේ නැහැ. භික්‍ෂුවට අවශ්‍ය ඔබව සතර අපායෙන් මුදවන්න පුතේ. මගෙ පුතේ භික්‍ෂුව කියන දෙය ඔබ අසන්න” භික්‍ෂුව රාත්‍රියේ පැය කාලක්‌ පමණ ඉහත බණ ශබ්ද නගලා දේශනා කළා. එදායින් පසු නැවත එම දිව්‍යාංගනාව නොපැමිණියාය. නොදුටුවේය. ඇයට කුමක්‌ වූයේ දැයි භික්‍ෂුව නොදනී. එහෙත් ඇය සසර ප්‍රඥාව වඩා පුරුෂ දිව්‍යාංගනාවක්‌ නිසා භික්‍ෂුව විසින් දේශනා කරන ලද අනිත්‍ය සංඥාව ඒ මොහොතේම අවබෝධ වීමෙන් ඇය දිව්‍ය ආත්මභාවයෙන් මිදී බ්‍රහ්ම ලෝකයේ උපතක්‌ ලබන්නට ඇතැයි භික්‍ෂුව අනුමාන කරයි. එහෙත් එය නිවැරදිව නොදනිමි.

භික්‍ෂුවට දිව්‍යාංගනාව දර්ශනය වන්නේ සමාධිය තුළ සිටියදීය. එහෙත් ඇයට බණ කියන විට ඇය සමඟ කථා කරන විට සමාධිය නැතිවන නිසා ඇයව දර්ශනය නොවේ. එහෙත් ඇය එහි සිටින බව භික්‍ෂුව දනී. එම දිව්‍යාංගනාවගේ සුකුමාල බව, සැහැල්ලුව, ලාලිත්‍යය, රිද්මය කොතෙක්‌ද කිවහොත් ඇය පෘතග්ජන ස්‌වභාවයේ කෙනෙකුට කාමයේ පාරාදීසයකි. දිව්‍ය ලෝකය යනු එවැනි කාම පාරාදීසයකි. මෙවැනි කාම ලෝකයක්‌ ඔබ නිරතුරුවම ප්‍රාර්ථනා කරන්නේ නම් එය මහා මුලාවකි. දිව්‍ය සැප නිරතුරුවම ඔබට අකුසල් රැස්‌කර දෙන්නකි. මන්ද ඔබ තුළ භවයට ඇති කැමැත්ත නිසා නිරතුරුවම තන්හාවෙන් සිත පිරී පවතී. දිව්‍ය සැප විඳීම යනු මෙම කාම ලෝකය තන්හාවෙන් බදාගැනීමයි. රස විඳීමයි. ඒ තන්හාව නිසා ඇතිවන අකුසල් වලින් ඔබව නැවත සතර අපායට ගාල් කරයි. එහෙත් මෙම දිව්‍යාංගනාව මිනිස්‌ ආත්ම වල ඉපිද ප්‍රඥාව වඩා තිබුණු නිසා ලැබුණු අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට ඇයට සමහරවිට හැකිවිය. ඔබද කුමන පිංකම කළද එම පිංකම්වල අනිත්‍ය ස්‌වභාවය, අනිත්‍ය සංඥාව වැඩීමට සරළව හෝ පුරුදුවෙන්න. දිනකට ඔබ පැය කාලක්‌ අනිත්‍ය සංඥාව වැඩුවොත් එය ඔබේ ආධ්‍යාත්මය තුළ තැන්පත් වෙලා කවදාහරි දවසක ඔබට සසර දුකින් ගැලවෙන්න උපකාර වෙනවා.

ඉහත දිව්‍යාංගනාවත් අතීත භව වල පිංකම් කරලා අනිත්‍ය සංඥාව සරළව හෝ වඩා තිබූ නිසයි පිංකම් නිසා දිව්‍ය සැපත්, අනිත්‍ය සංඥාව වැඩීම නිසා (ලැබුණා නම්) බ්‍රහ්ම සැපත් ලැබුණේ. දිව්‍ය ලෝකවල වැඩ සිටින දෙවිවරු තුළ මනුෂ්‍ය ලෝකයේදී වඩන ලද ප්‍රඥාව ඇත. එහෙත් දිව්‍ය ලෝකයේ කාම සම්පත් නිසා ප්‍රඥාව යටපත් වේ. මෙම දිව්‍යාංගනාවද භික්‍ෂුව ඉදිරියට පැමිණියේ සතුටුවීම සඳහාය. එහෙත් භික්‍ෂුව ඇයට සුදුසුම කමටහනින් යටපත්ව තිබූ ප්‍රඥාව මතුකර දුන්නායෑයි අනුමාන කරමි. මේ සෑම දෙයක්‌ම ධර්මයේ ආශ්චර්යයන්ය. භික්‍ෂුවගේ ආශ්චර්යයක්‌ නොවේ. ඔබත් සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ල ලැබේවී. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක්‌ ඔබට අවශ්‍ය නොවේ. මන්ද ඔබ සියල්ලම අනිත්‍ය වශයෙන් අවබෝධකර ඇති නිසාය.

ඔබ ලක්‍ෂ ගණන් ධනය කාලය වියදම් කර පිංකම් සිදුකරමින් ප්‍රාර්ථනා කරන ලෙස ස්‌ථිරවම ඔබ මහා සැප සහිත දෙවියෙක්‌, දිව්‍යාංගනාවක්‌ වුනොත් මෙවැනි සුකුමාල දිව්‍ය කුමාරයන්, කුමරියන් ඔබව කුල්මත් කරාවී. ඔබව පිස්‌සු වට්‌ටාවී. අවසානයේ ඔබට හිමිවන්නේ භවයේ පිස්‌සන්කොටුව වන සතර අපායමය. වර්තමානයේද භවයේ පිස්‌සන් කොටුවේ දුක්‌විඳින්නේ අතීතයේ අනන්ත අප්‍රමාණ දිව්‍ය මනුෂ්‍ය සැප විඳි කෙළිලොල් දිව්‍ය දිව්‍යාංගනාවන්ය. එදා දිව්‍ය ඕජාව, රාජ භෝජන වැළ ඔවුන් අද සතර අපායේ සෙම්, සොටු, මළමුත්‍රා, ගින්දර, පුන්නක්‌කු, තණකොල අනුබව කරයි. මෙය නිමා නොවන චක්‍රයකි. පටන් ගැන්මක්‌, අවසානයක්‌ නොමැත. ඔබට ඇත්තේ වටේ යැම පමණකි. ඔබට මින් ගැලවීමට නම් චක්‍රයම නිවා දැමිය යුතුය. ඔබම අවුලුවාගන්නා ගින්න කවදාහෝ දිනයක ඔබම නිවාගත යුතුය. එය වෙන අයකුට කළ නොහැක්‌කකි. මන්ද ගිණි අවුලුවන්නේ ඔබම නිසාය. ඔබම අවුලුවාගන්නා ගින්නකින් ඔබම දැවෙන අංක එකේ මෝහබරිත සත්වයා පෘතග්ජන සත්වයාය.

ඔබට ඉහත කථාව කියවන විට හිතෙන්නට ඇති අනේ මටත් මේ අත්දැකීම ලබන්නට ඇත්නම් කියලා. ඔබ එහෙම සිතුවොත් ඔබට මෙම අත්දැකීම කවදාවත් ලබන්න බැහැ. ඔබට එම අත්දැකීම ලබන්න නම් ඇතිවූ එම කෙලෙස්‌ සිත අනිත්‍ය වශයෙන් දැකලා අතහරින්නට ඕනේ. එවිට ඔබට දිව්‍යාංගනාවක්‌ නොව දිව්‍යලෝකයම දැකිය හැකිය. එහෙත් ඔබ ජයග්‍රාහකයෙක්‌ වන්නේ දිව්‍යාංගනාවක්‌, දිව්‍ය ලෝකය දැකීමෙන් නොව දිව්‍ය ලෝකයම අතහැරීමෙන්ය. දිව්‍ය සැප දකින, පතන සිත තිබෙනතාක්‌ ඔබට දිව්‍ය ලෝකය අත්හල නොහැක. ඔබ එහි පදිංචිකරුවෙකි, සාමාජිකයෙකි. කුළිය, සාමාජිකත්වය ඉවරවුනු තැන, වෙන තැනක්‌ සොයා යා යුතුය. අලුත් තැන සොයාගන්නේද ඔබ විසින්මය. මේ මොහොතේ ඔබ ඉන්නා තැන තෝරාගන්නේද ඔබමය. ඔබම තෝරාගන්නා ජිවිතයට මොනතරම් ප්‍රශ්න තිබුණද ඔබ නොගැටෙන්න. ඔබ ගැටුණොත් ඔබේම තෝරාගැනීමට ඔබ කරන ද්‍රෝහිකමකි.

මිනිසුන්ගෙන් සියයට සියයක්‌ම රෝගී වන්නේ ඉන්ද්‍රියන් හය පිනවීමට යැම නිසාය. දිවට, කයට රස පහස සොයන්නට යැම නිසාය. දියවැඩියාව, අංශභාගය, කොලෙස්‌ටරෝල්, ලිංගික රෝග, සමේ රෝග.

රිය අනතුරකින් අංගවිකල වන රෝගියාට එසේ වූයේ රියදුරා මත්වතුර බීම නිසාය, නැතිනම් අධික වේගය නිසාය. එසේත් නැතිනම් පදිකයාගේ නොසැලකිල්ල නිසාය. මේ සියල්ල තුළ තිබෙන්නේ තන්හාවය. අපි වේගයෙන් යන්නේ යමක්‌ ඉක්‌මනින් ස්‌පර්ශ කිරීමටය. වැඩිපුර අයිතිකර ගැනීමටය. පළවෙනියා වීමටය. සියල්ල තුළ තන්හාවයි තිබෙන්නේ. සැප සෙවීමේ මෙහෙයුම නිසා මිනිසා දුකට පත්වී රෝගීභාවයට පත්වී අසරණවනවා සේම, දිව්‍ය ලෝකයේ දෙවියන්ද දිව්‍යාංගනාවන්ද සැප පසුපස හඹා යැම නිසා මනුෂ්‍යයන් සේම පිරිහීමට පත්වී දුකට ඇද වැටේ. ඔබ පතන ආශ්චර්යමත් දිව්‍ය සැප ගැන ඔබ විවේකීව නැවත සිතාබලන්න. දිව්‍ය ලෝක යනු ගොම පිඩකි. දෙවියන් යනු එය අනුභව කරමින් පෘෂ්ඨිමත් වන පණු කැළයි. ගොම කමින් සතුටුවෙමින් පනුවා හොඳින් වැඩුනු පසු ගොම තලිය ඉවරවේ. පනුවන්ට සිදුවන්නේ තවත් සතෙකුගේ ගොදුරක්‌ වීමට පමණි. දිව්‍ය සැපත ඉහත ස්‌වභාවයමය. එහෙත් දිව්‍ය ලෝකයේද ශීලයෙන් පරිපූර්ණ, මතු පාරමී ධර්මයන් වඩන මහේශාඛ්‍ය දෙවිවරු සිටිති. ඒ අය තමන් පුහුණු කරන ලද ශීලයේ ආනුභාවයෙන් සිත, කය, වචනය හික්‌මවාගෙන සුදුසු කාලය පැමිණෙන තුරු හික්‌මීමෙන් යුතුව දිව්‍ය ලෝකයේ දිව්‍ය සැප අනුභව කරති. මෙම දෙවිවරු තුළ තිබෙන හික්‌මීමද තන්හාවකි. එම තන්හාව නම් මතු සසර බලාපොරොත්තු වන ප්‍රාර්ථනාවයි. කැමැත්තයි. පාරමී අරමුණයි.

උතුම් ධර්ම දානය පිනිස බෙදා හරින්න.

Monday, July 22, 2019

අතමිට සරු කරන නයි මිරිස් වගාවක් නිවැරදිව සකස් කර ගන්නා ආකාරය

වියළි හා අමු මිරිස් ලෙස සාමාන්‍යයෙන් අප පරිභෝජනය කරන මිරිස් කැප්සිකම් ඇනම් (Capsicum annuum) විශේෂයට අයත් වන අතර කොච්චි, නයි මිරිස්, හෝමිරිස් හා කැවුම් මිරිස් ලෙස හඳුන්වන වෙනත් වගා දර්ශයන් කැප්සිකම් චයිනෙන්ස් (Capsicum chinense) හා කැප්සිකම් ෆ්රුට්සන්ස් (Capsicum frutescens) විශේෂයනට අයත් වේ. මෙම විශේෂයන්හි පවතින විශේෂත්වය වන්නේ කරල් ඉතා සැරභාවයකින් යුක්ත වීමත් ඒවාටම ආවේණික වූ සුවඳක් තිබීමත් වේ. ලෝකයේ පවතින සැර අධිකම මිරිස් ලෙස මෙම නයි මිරිස් (කැප්සිකම් චයිනෙන්ස්) දැක්විය හැක.
ශ්‍රී ලංකාවේ තෙත් කලාපය හා අතරමැදි කලාපයේ ගෙවතු ආශ්‍රීතව හමුවන මෙම වගා දර්ශයන් සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළඳ පොළෙහි ඉහළ ඉල්ලුමක් පවතී. කරලේ ප්‍රමාණය (දිග, පළල), හැඩය, වර්ණය, කරලේ පිහිටීම සැරභාවය හා සුවදෙන් මෙන්ම ශාකයේ විලාශයෙන් ද මේවා එකිනෙකට වෙනස් ලක්ෂණ පෙන්වයි. බොහෝවිට කොච්චි දර්ශයන් කුරුල්ලන් මඟින් ව්‍යාප්ත වන බව සොයාගෙන ඇත. කුරුල්ලන් මෙම කරල් ගිල දමන අතර ඔවුන්ගේ මළ ද්‍රව්‍ය සමඟ බීජ පසට එක්වීමෙන් ව්‍යාප්තිය සිදු වේ. එබැවින් මෙම කොච්චි දර්ශයන් කුරුලු මිරිස් (Bird chill ) ලෙස ද හඳුන්වයි.
කරලෙන් බීජ වෙන් කළ පසු දින කීපයකින් වුව ද සමහර වගා දර්ශයන්හි බීජවල ප්‍රරෝහණ ශක්තිය හීනවී යන අතර එය මෙම වගා දර්ශයන්ගේ අඩු ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක් වී ඇත.බොහෝ කොච්චි හා නයිමිරිස් වගා දර්ශයන් බහු වාර්ෂික තත්ත්වයක් පෙන්වයි. රෝග හා පළිබෝධ හානිවලට මෙන්ම නියඟයට ද ඔරොත්තු දෙන ලක්ෂණ පෙන්වන වගා දර්ශයන් මෙම කොච්චි හා නයිමිරිස් අතර පැවතිය ද එම ලක්ෂණ කැප්සිකම් ඇනම් විශේෂය සමඟ සම්බන්ධ කර ගැනීමට අපහසු වී ඇත. මෙම විශේෂ අතර අන්තර් අභිජනනය සිදු නොවීම හෝ ඉතා අවම වීම ඊට හේතුවයි.
01.පැළ නිපදවා ගැනීම
ඇට ලබා ගැනීම සඳහා හොදින් පැසුනු කරල් බාවිතා කල හැකිය.වැදගත්ම කරුණ නම් මෙම ඇට කරලෙන් ඉවත් කොට කෙටි කාලයක් (දින 2-3) ඇතුලත තවාන් බඳුන් වල තැන්පත් කල යුතුය.මෙම ඇට කල් යත්ම ජීවී තාවය ගිලිහී යයි.වෙලඳපොලෙන් අසුරන ලද බීජ මිලදී ගැනීමේදී ප්‍රවේශම් වන්න.පැළ නිපදවා ගැනීම සඳහා බඳුන් සැකසීම
බඳුන් සැකසීම සඳහා හකුලා තිබෙන විට සෙන්ටි මීටර 10 ක් (අඟල් 4) පළල හා සෙන්ටි මීටර් 10 ක් උස පොලිතීන් බඳුන් භාවිතා කිරීම වාසිදායක වේ. ජලවහනය සඳහා බෑගයේ පතුලේ කුඩා සිදුරු 4-8 ක් පමණ ඇති කළ යුතුය. පතුල සීල් නොකරන ලද බැගයක් ද මේ සඳහා යොදා ගත හැක.
සකසා ගත් පෝච්චි වලට බීජ 10-12 පමණ සමාකාරව විහිදී යන ලෙස තැන්පත් කරන්න.පසුව එයට සෙවණ සපයන්න.අඟල් 6-8 පමණ වන පැළ සිටුවීමට ගත හැකිය.
02.පැළ අවශ්‍යතාව
අක්කරයකට පැළ 4000 පමණ. එක් වලකට පැළ එක බැගින්.
03.අවශ්‍ය පරතරය
පැළ අතර අඩි 3 පේලි අතර අඩි අඩි 2.5 /3
04.වලවල් සකස් කරගැනීම
අවමය දිග, පළල , උස අඩියක් පමණ විය යුතු අතර වලේ ප්‍රමානය වැඩි වන තරමට නීරෝගී ශක්තිමත් උසස් දිරියකින් යුත් ගසක් සාදා ගත් හැකිය.(වලෙහි ප්‍රමාණය අඩි 222 දක්වා වැඩි කල හැකිය) වලෙහි ප්‍රමාණය වැඩි වන තරමට කොච්චි ගස පවත්වා ගත් හැකි කාලය වැඩි වේ.
05.වලවල් පිරවීම
කොම්පෝස්ට් කොටස් දෙකට මතුපිට පස් එක බැගින් කලවම් කර වලවල් පිරවිය යුතුයි.
කොම්පෝස්ට් 2: මතුපිට පස් 1
මෙහිදී කොම්පෝස්ට් බහුලව යොදාගැනීම විශේශ කරුනකි.
06.පොහොර අවශ්‍යතාවය.
නයි මිරිස් සඳහා සුවිශේශී වූ පොහොර නිර්දේශයක් අවශ්‍ය නැත.පැළ කුමක් හෝ ඌනතා ලක්ශණ පෙන්වයි නම් පමණක් මිරිස් සඳහා වූ පොහොර බාවිතා කල හැකිය.නමුත් මෙම නයි මිරිස් ප්‍රබේද රසායනික පොහොර නොමැතිව වගා කිරීමේදී උසස් වර්දන වේගයක් පෙන්වයි.
මා ලද අත්දැකීම් අනූව වල පිරවීමේදී මඩ පොහොර (TSP) 10-15g පමන වලකට කලවම් කිරීම ඉහල ගුණාත්මයක් සහිත පැළයක් කබා ගැනීමට ඉවහල් වනු ඇත.
07.පැළ සිටුවීම
එක් වලකට එක් පැළය බැගින් සිටුවීම සුදුසුයි.පැළයේ උස අඟල් 6-8 වන පැළ ක්ශේත්‍රයේ සිටුවීමට සුදුසුය.පැළ සිටුවා සෙවණ සැපයීම අත්‍යාවශයයි.
08.නඩත්තුව
වැදගත්ම කරුණ නම් මෙහිදී විශේශ වූ නඩත්තුවක් අවශ්‍ය නැත.
වියලි කලාපයේ දී ජලය සැපයීම පැළ කුඩා කාලයේදී දිනකට දෙවරක් ජලය සැපයිය යුතුය.මිරිස් වගාවට වැලඳෙන රෝග සහ හානිකරන පළිබෝද මෙම බෝගයටද එකසේ බලපානු ලබයි.මෙය රෝග වලට ප්‍රතිරෝදී බවක් පෙන්වන අතර සෙවන සහිත පරිසරයේ වුවද සාර්තකව වගා කල හැකිය.වියලි කාලගුණ තත්ව යටතේ නොනැසී පැවතීමේ හැකියාවක්ද පවතියි.
09.අස්වනු නෙලීම
හොඳින් නඩත්තු කරන ලද වගාවකින් දින 75 ක් ඇතුලත පලමු අස්වැන්න නෙලාගත හැකිය.හොඳින් නඩත්තු කරන ලද වගාවකින් වසරකට වැඩි කාලයක් පලදාව ගත හැකිය.
විෂේශ කරුණු
වගාව මල අතු වලින්(පොල් අතු,කෙසෙල් පරඬැල්,තල් අතු.)ආවරණය කිරීමෙන් වගාවට පැමිනෙන කෘමීන් වලක්වා ගත හැකිය.තවද වගාව වටා දාස් පෙතියා මල් පැළ සිටිවීමෙන් වගාවට එන කෘමීන් පාලනය කරගත හැකිය.දාස් පෙතියා කෘමි විකර්ශක ශාකයක් ලෙස ක්‍රියා කරයි.
තවද මෙම ශාකය තම ගෙවත්තේ වගා මලු වලද පහසුවෙන් වගා කරගත හැකිය.
මෙය කියවීමේදී නොතේරෙන තැනක් හෝ අපැහැදිලි තැනක් වෙතොත් කොමෙන්ටුවක් ලෙස හෝ කෙටි පණිවුඩයක් ලෙස ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමු.
ඔබට ජය.
හරිත ලංකා කෘෂි සේවා.