මිනිසා
මරණ තුනක් ඇති මිනිසා
බලා සිටි
නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
පයෝදර තුඩු ඉකිබිඳිද්දී
සංත්‍රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීණා කන්‍යාවී
නියගලා මල් පාට දේදුණු
දෙබෑ කර එන ගිරා පොව්වන්
පියුම් කැකුළක් තුඩින් පාරා
බලෙන් පුබුදන හංසයා
බලන්න නිරුවත් දෑසින්
ඔකඳ වී රිද්මයෙන්
රසාතලය කළ එලි ගන්වා
වයන්න වීණා කන්‍යාවී
1989 වසරේ සරසවි හා ස්වර්ණසංඛ සම්මාන දිනූ කන්‍යාවී ගීතය සිරිමැදුර චිත්‍රපටයේ අන්තර්ගත වූවකි. සාම්ප්‍රදායික සිනමා කලාව අතික්‍රමණය කළ මෙය චිත්‍රපටයේ අදාළ අනුභූතිය පුළුල් ලෙස චිත්‍රණය කරන්නක් විය. මෙම ගීතයේ පද රචකයා වන්නේ ලූෂන් බුලත්සිංහලයන්ය. වේදිකාවෙන් සිය ගීත රචනා කලාව අරඹන මෙතුමා ටෙලිනාට්‍ය, චිත්‍රපටිය හරහා ඔපෙරාව වෙත ගමන් කිරීමට තරම් පැතිරී ගිය රචනා කෞෂල්‍යක් පළ කළේය. මෙම හැම මාධ්‍යකදීම බුලත්සිංහලයන් උත්සහ කොට ඇත්තේ සුපුරුදු වට්ටෝරු ගීත රටාවෙන් වෙනස්ව අලුත්ම භාෂා වියමනක් හරහා විදග්ධව සිය අනුභූතිය නිර්මාණය කිරීමටය. සිරිමැදුර චිත්‍රපටයේ තේමා ගීතය වූ කන්‍යාවී ගීතය සිංහල චිත්‍රපට ගීතයේ කඩඉමක් ලෙස අර්ථනිරූපණය කරන්නේ ඒ නිසාවෙනි පූර්වෝක්ත ගීතය බිහි වූ ආකාරය දෙස අවධානය යොමු කිරීමේදී චීත්‍රපට තිර නාටකයේ කේන්ද්‍රීය පිරිමි චරිතය මාරාන්තික අනතුරකින් කශේරුක ආබාධිතයෙක් බවට පත් වී කතා කිරීමේ හැකියාව නැති වූ මිනිසෙකි. නමුදු මොහු සංගීතඥයෙකි. මොහුගේ භාෂාව වන්නේ සංගීතයයි. සහෝදරයාගේ බිරිඳ සමඟ ආත්මිය සංවාදයකට එළඹෙන්නේ ඇයට පියානෝව වාදනය කිරීමට ඇති හැකියාව ඔස්සේය. මෙතෙක් කල් ඔහුගේ ශාරීරික අවශ්‍යතාවයන් ඉටු කර දුන්නේ සිරිමැදුරේ සිටි නූගත් ග්‍රාම්‍ය මෙහෙකාරීයයි. නොසියුම් ඇගේ ජීවිත දහරාව ඔස්සේ ඇයට නොතේරෙන සංගිතය ඇගේ අයිතිවාසිකම් වලට අභියෝග කරන්නටත් සූදානම් වෙයි. මේ තුන්කොන් ලිංගික අරගලය ඔසවා තබන තැනකයි මෙම චීත්‍රපට ගීතය අන්තර්ගත වන්නේ.
මිනිසා
මරණ තුනක් ඇති මිනිසා
බලා සිටී
සාහිත්‍ය ඔස්සේ සංගීතය පිළිබඳ චින්තනය අවධි කිරීමේදී අපට මැවී පෙනෙන්නේ සරස්වතියයි. ඕනෑම කලා කෘතියක් හෝ චීත්‍රපට නිර්මාණයක් සරස්වතී වර්ණනාවෙන් හෝ ගීතයකින් ආරම්භ වීම යථෝක්ත මූලධර්මයක් වේ. ඒත් සමඟම මෙම චිත්‍රපට ගීතයේ එන තුන්කොන් ලිංගික ආලය රචකයා වෙත පැරණි ජන කවියක් සිහියට නංවයි .
වනේ ගිජිඳාය දුටුවොත් වනසාය
ලිඳේ පනිදාය වැටුනොත් ඌ කාය
අතකින් කරවැලකි අතකින් දඬුබෑය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය
උක්ත කවිය ඇසුරු කරගෙන රචකයා ගීතයේ පදවැල් නිර්මාණයට පිවිසෙයි . මරණ තුනක් ඇති මිනිසෙක් යනුවෙන් ඔහු අර්ථ දක්වන්නේ චිත්‍රපයේ කේන්ද්‍රීය පිරිමි චරිතය වටා එතී ඇති තත්වානුරූපී අවස්ථාවන් තුනකි. තමන්ගේම ජීවිතය පිළිබඳ තිබෙන අනාරක්ෂිත භාවය, මෙහෙකාරිය හා සහෝදරයාගේ බිරිඳයි. කථානායකයාගේ මරණ තුන පිළීබඳව රචකයා දක්වන්නේ එලෙසිනි. කාම ලෝකයේ මිනිසාගේ හැසිරීම් රටාව මේ ඔස්සේ සංකේතවත් කරයි.රචකයා ව්‍යංගයෙන් පවසන්නේ අධ්‍යතන යුගයේ පවා මිනිසාට මරණ තුනක් පවතින බවයි. සිය ජීවිත තුළට කිඳා බසින කෙදිනකවත් මකා දැමිය නොහැකි ආර්ථික, දේශපාලන, සමාජීය, සංස්කෘතික සංඝටනයන් මත හටගන්නා ගැටලුකාරී අවස්ථාවන් හෙවත් දුක් කම්කටොලු ලෙස මේ මරණ නූතනයේ විවිධාකාර ස්වරූප ගනී.
නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
පයෝදර තුඩු ඉකිබිඳිද්දී
සංත්‍රාසයෙන්
අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීණා කන්‍යාවී මේ
ගීතයේ අන්තර්ගත වන්නා වු සංකල්ප රූප සාමාන්‍ය චිත්‍රපට ගීතයකට වඩා බෙහෙවින් ගැඹුරු බව පෙනේ. රසිකයාට එක් වරම ග්‍රහණය කරගත නොහැකි තලයක ගීතය පවති. එහෙත් චිත්‍රපටයේ සමස්ථාර්ථය හා බද්ධව සලකා බැලීමේදී එය අපූරු ගීත හා සංගීතමය ප්‍රකාශනයක් ලෙස අවබෝධ කරගත හැක. රචකයා රූපකාර්ථ ඹස්සේ මහඟු භාව ප්‍රකාශනයක් හෙවත් රූප රචනයක් ගෙනහැර දක්වයි. අනියම් කාම ලෝකයේ මෙවුන්දමින් නැතිනම් රති සම්භෝගයෙන් මුසපත් වු දෙහදක් සංවාදයෙන් තොරයි. ඔවුන් අසංවාදීව සුසුම් වල වේගයෙන් පමණි සංවාද කරන්නේ. සැකය නැමැති ලිහිල් සළුව මුහුණ පාන්නා වු ඛේදවාචකය පිළිබඳ මොවුන්ට ඉමක් කොනක් නොපෙනේ. පයෝදර තුඩු ඉකිබිඳ්ද්දී යනු කාමලෝකයේ අතිශය කාමාශක්ත බව නිරූපණය කරන්නා වු රූපකාර්ථයකි. වෙන් වෙන් වු පරිසරයන් තුළ භාවිතා වන වචන කාව්‍යාත්මක ලෙස එක් තැනකට එක් කිරීම මත රූපකාර්ථ ගොඩනැගේ. මෙම ගීතය තුළ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ ප්‍රකරණ වක්‍රතාවයයි. එනම් පැරණි මූලාශ්‍රයේ ඡායා මාත්‍රයක් තමන් තුළ රඳවා ගෙන වර්තමානයට හා චිත්‍රපටයේ කථා තේමාවට ගැළපෙන ලෙස අලුත් ආරයකට ප්‍රතිනිර්මාණය කිරීමයි. කාලිදාසයන් අභිඥාන සාකුන්තලය රචනා කිරීමේදී පැරණි මූලාශ්‍ර වු පර්ණපුරාණය, සාකුන්තලෝපාක්‍යානය හෝ මහා භාරතය ඒ ආකාරයෙන්ම භාවිතයට යොදා ගත්තේ නැත. ලූෂන් බුලත්සිංහලයන් නූතන ගීතයේ රූප රචකයා ලෙස හැඳින්වීම අරුමයක් නොවන බව ගම්‍ය වන්නේ ඒ නිසාවෙනි. වීණාවක් වැයීම යනු අතිශය ශාන්තව කළ යුත්තකි. නමුත් සාහිත්‍යයේදී වියරුවෙන් මුසපත්ව වීණාවක් වැයීමෙන් ලිංගිකත්වය කාම රසය උද්දීපනය වේ. ලිංගිකත්ය යනු වෙනමම ශික්ෂණයක් ලෙස අර්ථකතනය කළ හැක. වාත්සායන පඬිවරයා කාම ශ්‍රාස්ත්‍රයට අදාළව ලියූ අනංගරාග ග්‍රන්ථයේ සමස්ථාර්තය තුළද ගැබ් වී ඇත්තේ ලිංගිකත්වය හා රතිසම්භෝගය තුළද සංයමයක් පවතින බවය. නමුදු මෙම ගීතය තුළින් ව්‍යංග්‍යාර්ථවත් වන්නේ අධ්‍යතන සමාජයේ අනියම් සබඳතා මත ගොඩනැගෙන්නා වු ජීවිත කතාව නිරන්තර සංත්‍රාසයෙන් යුක්ත වන බවයි. සංයමයක් රටාවක් නොමැතිව රස කාමයෙන් මුලා වූ මිනිසා තම කායිකෝත්තේජනයන් සොයා යන්නේ සියළුම සදාචාරාත්මක ශික්ෂණයන් බිඳ දමාගෙනය. මෙම ගීතයේ වාච්‍යාර්ථය පමණක් නොව චිත්‍රපටයේ සමස්ත අනුභූතිය හා ඓන්ද්‍රීය ලෙස බද්ධව එහි ඇතුලු ගැබ පලාගෙන මතු වු සියුම් ආත්මීය ආවිෂ්කරණයක් මේ ගීතයේ ගැබ් වේ. රචකයා බොහෝ සංකීර්ණ රූපකාර්ථ, සංකේත හා ව්‍යංග්‍යාර්ථවත් පද මාලා ඔස්සේ සහෘද හදවත් තූළ චිත්තරූප මැවීමට ගෙන ඇති වෑයම ඉතාමත් ආනන්දනීයයි.
නියඟලා මල් පාට දේදුනු
දෙබෑ කර එන ගිරා පොව්වන්
පියුම් කැකුළක් තුඩින් පාරා
බලෙන් පුබුදන හංසයා හංසයා
බලන්න නිරුවත් දෑසින්
ඔකඳ වී රිද්මයෙන්
රසාතලය කළ එළි ගන්වා
වයන්න වීණා කන්‍යාවී
කාන්තාවකගේ ශරීර අවයව කොටස් වශයෙන් සැලකූ විට අපට සුන්දරත්වයක් පෙනෙන්නේ නැත. සමස්තයක් ලෙස කාන්තා රූපය, ස්ත්‍රී ලාලිත්‍ය ආකර්ෂණීය බව අමුතුවෙන් කිව යුතු නැත. ගීතයද එසේමය වෙන් වෙන් වශයෙන් විශ්ලේෂණය කිරීමකට වඩා එහි සමස්ථාර්තය තුළ හැඟවෙන්නේ පුළුල් සන්නිවේදනයකි. නියගලා මල්, ගිරා පොව්වන්, පියුම් කැකුළක්, හංසයා යන පද මාලා ලිංගික ආකර්ෂණයක් ඇති කරන්නා වු රූපක වේ. රසාතලය යනු කවි සමයේ නා ලොව හෝ පාතාලය යැයි කියැවේ. එනම් රස පොළොව හෙවත් පොළොවේ යටි තලයයි. රස කාම ලෝකයේ ජීවී පැවැත්ම රඳා පවතින්නේ රස පොළොව ආරක්ෂා වු තරමටයි. එය නිසරු වු කල ජීවී පැවැත්මක් නැත්තේය. “මී තෙල් මැ වැගිර වටැ පැතිර රසා තලයට බට පරිදිදෙනි” යැයි සද්ධර්මාලංකාරයේ තෙභාතික වස්තුවේ සඳහන් වේ. රාහුල හිමියන්ගේ පරෙවි සන්දේශයේ පද්‍ය අවස්ථාවක් වන “රත්සර කැකුළකට තුඩු දී හසෙක් මොල” යන මූලාශ්‍රයද මේ ගීතයේ පද නිර්මාණය සඳහා ඇසුරු කරගෙන ඇති ආකාරයක් දක්නට ලැබේ. එනම් උක්ත කරුණු අනුව ගීතයේ භාව සෞන්දර්යට වඩාත් සමීප වීමට නම් ධ්වනිථාර්ත, වෘතාන්තමය හා ජීවන පරිසරය පිළිබඳ කරුණු ද අප දැන සිටිය යුතුය. මෙම ගීතයේද ඇත්තේ කිසියම් සංකීර්ණ බවක.ි රචකයා තෝරාගන්නා උපමා රූපක ගැඹුරුය. ගීතයේ ආකෘතික විලාසය අමුතුය. එනම් ලූෂන් බුලත්සිංහලයන් සතු රැඩිකල් මනස කදිමට හෙළිදරව් වේ. සමභාව්‍ය සාහිත්‍යය සේවනය කිරීමෙන් ලත් නිර්මාණාත්මක ශික්ෂණය සහ අභ්‍යාසද එහිදී රචකයාට බලපා ඇති බව පෙනේ. මෙම ගීතයේ පද රචනය ලූෂන් බුලත්සිංහලයන්ගෙනි. ගායනය කරනු ලබන්නේ අමරසිරි පීරීස් මහතා විසිනි. සංගීතවත් කළේ කේමසිරි ප්‍රේමදාස සංගීතවේදියාය.ඒ අනුව සංගීතය, ගායනය, තනු නිර්මාණය මත උපරිම සාර්ථකත්වයට පත් වූ නිර්මාණයකි. යම් කිසි නිර්මාණයක් සහෘදයන් අතර දිගු කලක් රඳා පවතින්නේ එහි නිර්මාණශීලී ගුණාංග වල සුලභ බව නිසාවෙනි. කන්‍යාවී ගීතය අද්‍යතන යුගයේ පවා රසික හදවත් තුළ රැඳී ඇත්තේ එහි සාර්ථකත්වය මත බව මැනවින් ගම්‍ය වේ.
Its a one of my favourite song.nice post.....
ReplyDelete