Monday, November 12, 2018

සංස්කෘතිය සමඟ සබැඳුණු ජනප්‍රිය සංස්කෘතිය

ජනප්‍රිය සංස්කෘතිය හඳුනා ගත හැක්කේ සංස්කෘතිය යන්න අවබෝධ කර ගැනීමෙනි. එනම් සංස්කෘතිය කුමක්ද යන්න හඳුනාගැනීමේ දි ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් තිබිය යුතුය. සංස්කෘතිය යන්න එක් නිශ්චිත සීමාවක ලා විග්‍රහ කළ නොහැකිය. විවිධ විචාරකයෝ විවිධ නිර්වචන ඔස්සේ එකී විෂය විග්‍රහ කරති. 
සංස්කෘතිය යන විෂය පිළිබඳ ඇති පෞරාණික නිර්වචනය 1871 දී ඉදිරිපත් කළේ ඊ. බී. ටයිලර් නැමැති සමාජ මානව විද්‍යාඥයාය. ඔහු දක්වන පරිදි සංස්කෘතිය හෝ සභ්‍යත්වය යනු, දැනුම, ඇදහිලි, කලා නීත,ි සදාචාර, සිරිත් විරිත් හා මිනිසා සමාජයේ ජීවත් වන පුද්ගලයෙකු වශයෙන් ලබා ගත්තා වූ පුරුදු, පුහුණු හා හැකියාවන් අඩංගු සංකීර්ණ සමස්තයයි. 

මේ නිර්වචනය තුළ පුද්ගලයාගේ සමස්ත හැසිරීම් රටාවම සංස්කෘතිය වශයෙන් හඳුනා ගත හැකිය. සමහරු සංස්කෘතිය යන්න ගුණ වගාව නමින්ද, ආගම සාහිත්‍යය ඉගැන්වීමෙන් හා සාහිත්‍යය කලාස්වාදයෙන් ලැබෙන චිත්ත විසුද්ධිය නමින්ද හඳුන්වති. මානව විද්‍යාව පිළිගන්නේ මිනිසා සමාජයක් හැටියට සංවිධානය වීමත්  සමඟ සංස්කෘතිය යැයි හඳුනාගත හැකි ධර්මතාවයක් හා ක්‍රියා පද්ධතියක් පහළ වූවා යන්නයි.  ජනතාව සතු කර්මාන්ත, ඊට වහල් කරගන්නා උපකරණ, යාන වාහන, කෑම බීම, ඇඳුම් පැළඳුම්, සිරිත් විරිත්, සංගීතය, කලාව, ආගම, භාෂාව, නීති රීතී යනාදියත් සංස්කෘතික විෂය ක්ෂේත්‍රයට ඇතුළත් වන බවයි. 

මහාචාර්ය රැල්ප් ලින්ටන් නැමැති විද්‍යාඥයා සඳහන් කරන ආකාරයට සංස්කෘතිය යන්නෙන් අදහස් කරන්නේ කිසියම් සමාජයකට විශේෂිත වූත්, එහි ලක්ෂණ හැටියට සැලකිය හැක්කා වූත්, දැන උගත් ප්‍රතිචාරයන්හි සංවිධානාත්මක එකතුවයි. කෙසේ වුවද සංස්කෘතිය පිළිබඳව හැදෑරීමේ දී ඒ තුළ පොදු සංස්කෘතීන් උප සංස්කෘතීන් දැක ගත හැකිය. පොදුවේ විග්‍රහයේ පහසුව තකා සංස්කෘතිය යන්න සමාජයේ සාමාජිකයා විසින් පරිහරණය කරන, ඔහුගේ ජීවිතයේ සෑම අංගයක් හා අන්‍යොන්‍ය ලෙස සබැදුණු මෙන්ම සමාජයෙන් සමාජයටත්, දේශයෙන් දේශයටත් වෙනස් වන්නා වූ තත්වයක් ලෙස  ගිණිය හැකිය. අංග රැසක එකතුවකින් සුසංයෝගීව වැඩුණු සමස්තයක් ලෙස තේරුම් ගත හැකිය. සංස්කෘතිය විග්‍රහයට පසුකාලීනව විවිධ සංකල්ප බිහි විය. එනම් අංගයක් හෝ අංග කිහිපයක් පිළිබඳ මූලික එළඹුම් හේතු කොට සංකල්ප බිහිවිය. 


  • සංස්කෘතික විශ්ලේෂණය 
  • සංස්කෘතික අංග සංකීර්ණය 
  • සංස්කෘතික ප්‍රභේද  

වශයෙන් එන්නේ එම සංකල්පයන්ය. ඇතැම් සංස්කෘතිකාංග පරපුරෙන් පරපුරට වෙනස් වේ. මේ වෙනස් වීම් මූලික කරුණු දෙකක් මත සිදු වෙන බව සමාජ විද්‍යාඥයෝ පවසති.

  • සාමාජිකයෙකු තුළ අලුත් අදහසක් පහළ වීම හෝ අලුත් අදහසක් නිපදවීම නැතහොත් නවීකරණ කාර්යය. 

  • කිසියම් සමාජයක සමාජිකයෙකු විසින් වෙනත් සමාජයකින් අලුත් අදහසක් හෝ නිමවුමක් හෝ ණයට ගැනීම. 


ඉහතින් සඳහන් කරුණු සලකා බලන විට එහි සැබෑව අපට හඳුනා ගත හැකිය. 

  • සංස්කෘතික ව්‍යාප්තිය 


සංස්කෘතිය නිරන්තරයෙන්ම වෙනස් වන්නේ පවතින ජීවන අවශ්‍යතා අනුවයි. එම වෙනස් ස්වභාවය මත නව පොදුජන සංස්කෘතිය බිහිවන බව සැබෑවකි. සමාජ සංස්කෘතික තත්වයන් නවීකරණය වීම තුළ නව සමාජ සංස්ථා බිහි වේ. මානව සමාජයේ අවශ්‍යතා සම්පූර්ණ වූ පමණින් සමාජය තෘප්තිමත් නොවන බවත් සමාජයේ එක එක අවධි වල සංස්කෘතික තත්වයන් අසමාන බවත් රැල්ප් ලින්ටන් දක්වයි. 

ජනප්‍රිය සංස්කෘතිය පිළිබඳ විමසා බැලීමේ දී සංස්කෘතික විසරණය හෙවත් සංස්කෘතික ව්‍යාප්තිය කෙසේ සිදු වන්නේද යන්න හැදෑරිය යුතුය. ජනප්‍රිය සංස්කෘතික අංග බිහිවීමෙහි ලා සංස්කෘතික ව්‍යාප්තිය බලපා තිබීම ඊට හේතුවයි. 

සංස්කෘතික ව්‍යාප්තිය ලෙස හැඳින්වෙන්නේ එක් සංස්කෘතියක සංස්කෘතික මූලධර්මයන් තවත් සංස්කෘතියකට බලපානු ලබන ක්‍රියාදාමයයි. ලෝකයේ සෑම සමාජයකම සංස්කෘතිය වෙනත් සංස්කෘතික අංගයන්ගේ බලපෑමෙන් ගොඩ නැගී ඇත. මානව ශිෂ්ටාචාරයේ වර්ධනය දෙස බලන විට ඒ ඒ ශිෂ්ටාචාර විවිධ අංගයන් අන්‍යොන්‍ය වශයෙන් හුවමාරු කරගෙන තිබේ. තාක්ෂණික හුවමාරු, සාහිත්‍යය කලා ශිල්ප හුවමාරු අධ්‍යනයෙන් මෙය පැහැදිලි කර ගත හැකිය. උදාහරණයක් ලෙස මානව ශිෂ්ාටාරයේ තාක්ෂණික දැනුම විවිධ සමාජ අතර හුවමාරුව දැක්විය හැකිය. මුද්‍රණ කර්මාන්තය චීනය, රෝමය, ජර්මනිය ආදී රටවල ශිල්පීය සංයෝගයෙන් බිහි වූවකි. මෙලෙස සිදුවූ සංස්කෘතික හුවමාරුව නිසා ඇතැම් සංස්කෘතික ආභාෂයන් විනෝදාස්වාදන මාධ්‍යයන් අතරට ද එක් විය. විශ්වාසයන්, අභිචාර, අත්භූත චරිත ආදිය සංස්කෘතියට එකතු වීමෙන් ඒ වටාද සංස්කෘතියන් ගොඩනැගේ. 

සංස්කෘතික ව්‍යාප්තියේ බලපෑමෙන් ඇතැම් විට සම්මත සංස්කෘතියට විකල්ප සංස්කෘතියක් ද ගොඩ නැගේ. සාහිත්‍යය, කලා ශිල්ප, නිර්මාණ කුසලතා ඊට බලපාන්නේය. ජනප්‍රිය සංස්කෘතිය යන්නෙන් අසම්මත ස්වරූපයෙන් සංස්කෘතියක් බිහිවන්නේද සංස්කෘතික විසරණයේ ඵලයක් හැටියටය. සන්නිවේදන තාක්ෂණයේ වර්ධනයත් සමඟ සංස්කෘතික ව්‍යාප්තිය යන්න විවිධ තේමාවන් ඔස්සේ වේගවත්ව සිදු වන්නට විය. මෙකී සංස්කෘතික විසරණය සිදු වන්නේ වෙනත් සංස්කෘතියකින් නව සංස්කෘතියට පැමිණ බද්ධ වන  කණ්ඩායම් තුළින්ය මෙසේ භූගෝලීය වශයෙන් වෙනත් සංස්කෘතියක් හා ගැටීමෙන් සංස්කෘතිය වෙනස් වන බව පෙනී යයි. 
  • ජන මාධ්‍යයේ නැගීම හා මාධ්‍යය සංස්කකෘතිය 


සන්නිවේදන තාක්ෂණයේ වර්ධනය නිසා සාහිත්‍යය, ජන කලාව, ජන සංස්කෘතික අංග නවීකරණය විය. නවීන ජනමාධ්‍යය බිහි වීමත් සමඟ සාම්ප්‍රදායික නිර්මාණයන්ට නවාංග  එකතු විය. සංස්කෘතිය විශාල වශයෙන් වෙනස් වන්නේ කාර්මික විප්ලවයෙන් පසුවයි. 

ප්‍රාථමික ක්‍රමෝපායන් අභිබවා මුද්‍රණ ශිල්පය දියුණු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝක ශාක්ෂරතාවය වර්ධනය වී සාහිත්‍යය පොත පත ව්‍යාප්ත වුණි. සාක්ෂරතාවය දියුණුවත්ම පැරණී සංස්කෘතික අංග පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කරන්නට සාහිත්‍යය සමාජ විචාරකයෝ පෙළඹුණහ.

ජන සංස්කෘතියට අනුව බිහිවූ නිර්මාණාංග ජන මාධ්‍යය මඟින් ඉස්මතු කොට විසුරුවා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස ජනප්‍රිය සංගීත සම්ප්‍රදායක් බිහි විය. එහිදී සිදු වූයේ සාම්ප්‍රදායික නාද රටා නව තාක්ෂණික සංයෝගයෙන් ප්‍රති නිර්මාණය වීමයි. ඉලෙක්ට්‍රොනික් සංගීතයෙන් නිර්මාණය වූ මෙම නව නාද රටාවන් ජනප්‍රිය සංගීතය ලෙසට වර්ධනය විය. විශේෂයෙන්ම 1950 දශකයේ අග භාගයේ දී පමණ මෙම යෙදුම භාවිතව ඇති බව පෙනේ. 

රූපවාහිනිය ගුවන් විදුලිය සිනමාව වැනි බහුජන මාධය ව්‍යාප්තිය සමඟ සංස්කෘතික හා භූගෝලිය සීමාවන් ඉක්මවා ජනප්‍රිය සංගීතය ව්‍යාප්ත විය. සංගීතය පමණක් මාධ්‍යය මඟින් විසුරුවා නොහැරුණි. සංගීතය සමග දෘශ්‍යය නිර්මාණයන්ද ජනප්‍රිය සංගීතයට එකතු විය. ජන මාධ්‍යය මඟින් ඇතිවූ මෙම ප්‍රවණතාවය නිසා ජනප්‍රිය සංගීත කණ්ඩායම්, ගායන, වාදන, හා රංගන ක්ෂේත්‍රවල ගායන වාදන, රංගන තාරකාවෝ බිහිවූහ. මාධ්‍යයය හා නව ආරක නිර්මාණකරුවන්ගේ සංකලනයෙන් ජනප්‍රියත්වය තේමා කරගත් මාධ්‍යය සංස්කෘතියක් බිහිවිය. 

සම්මත නිර්මාණ ක්‍රමවේදයන් ඉක්මවා නව නිර්මාණ, නව තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ විකාශය විය.එය කෙටි කතාව, නව කතාව, නාට්‍යය, ගීතය මෙන්ම දෘශ්‍ය මාධ්‍යයද නව මුහුණුවරකට පරිවර්තනය වන්නට හේතු විය. මේ පසුබිම සම්මත නිර්මාණ ශිල්පියා අසම්මත ආකාරයකට සිය නිර්මාණ බිහිකරන ශිල්පීන් බවට පත් වීමට හේතු විය. ජනමාධ්‍යය ලොවම ආවරණය කළ විට තත්කාලයේ තිබූ සංස්කෘතියට ජනප්‍රිය අංගයන් එකතු වීමෙන් නව සංස්කෘතියක්ද බිහිවිය. ජනප්‍රිය සංස්කෘතිය ලෙස හඳුනා ගත හැක්කේ සංස්කෘතික ව්‍යාප්තියේ ප්‍රතිඵල ලෙස බිහිවූ නව ආරක් ගත් ජන සංස්කෘතික අංගයන්මය. 

සංස්කෘතිය වෙනස් වීම ජනමාධ්‍යය මගින් සිදුවන විට ඊට උචිත ජනමාධ්‍යය සංස්කෘතියක් ද බිහිවිය. ගුවන් විදුලිය, රූපවාහිනිය, සිනමාව වැනි ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යය බොහෝ වූ ග්‍රාහක පිරිසක් මාධ්‍යය තුළ රඳවා ගැනීමට ජනප්‍රිය අංග යොදා ගැණිනි. මුද්‍රිත මාධ්‍යය කෙරෙහිද මෙය බලපෑවේය. ඒ නිසා චිත්‍රය, මෝස්තරය, සගරා වාර ප්‍රකාශන හා වෙනත් සන්නිවේදන මාධ්‍යයන්ටද ජනප්‍රිය සංස්කාතික අංග එකතු විය. එය පසුකාලීනව ජනප්‍රිය මාධ්‍යය සංස්කෘතියක් වර්ධනය වීම කෙරෙහි බලපෑවේය.

සංස්කෘතික විකාශනය තුළ සංස්කෘතීන් කිහිපයක් අපට දැක ගත හැකි වේ. එනම්, 
  • සන්නිවේදන සංස්කෘතිය 
  • ජන සංස්කෘතිය 

මාධ්‍යය සංස්කෘතිය 
ජනප්‍රිය සංස්කෘතිය 
වෙළඳ සංස්කෘතිය 

යනාදියයි.